විරුවනි, ඔබ නොමියනු ඇත! | දිනමිණ

විරුවනි, ඔබ නොමියනු ඇත!

ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය නිමාවට පත් කළ මානුෂීය මෙහෙයුමට වසර එකොළහක් සපිරෙයි. එය පෙරළා ආවර්ජනය කළ යුත්තේ මෙහෙයුමේ හර පද්ධතිය හා විශේෂ සිදුවීම් අනාගත පරපුරද මැනැවින් වටහාගත යුතු බැවින් ය. ශ්‍රී ලාංකිකයා ඉතා ඉක්මනින් ඉතිහාසය අමතක කරන බවට ද, අතීත පාඩම් හා අත්දැකීම් ඉවත ලන බවට ද අවලාදයක් පවතී. එය ඇත්තක් වුව; බොරුවක් වුව මිනිස් ශිෂ්ටාචාරයේ සන්ධිස්ථාන, හැරවුම් ලක්ෂ හා පෙරැළිකාර අවස්ථා යළි යළිත් ආවර්ජනා කිරීම කෘතවේදී ජන සමාජයක වගකීම වෙයි. ඒ අනුව මානුෂීය මෙහෙයුම පිළිබඳ අනුස්මරණ හා අධ්‍යයන ජාතියේ ඉදිරි ගමනට සපයන උත්තේජකයක් වන්නේ ය.

මේ මෙහෙයුම ජනවර්ගයක් පරාජය කිරීම සඳහා සිදුකළ යුද්ධයක් නො වේ. ආගමක් හෝ භාෂාවක් හෝ සංස්කෘතියක් හෝ යටපත් කිරීම උදෙසා සිදුකළ කුමන්ත්‍රණයක් නොවේ. මහ ජාතියේ ආධිපත්‍යය පිහිටුවීම වෙනුවෙන් සිදුකළ පහරදීමක් නො වේ. භූමි ප්‍රදේශ අල්ලා ගැනීම පිණිස සිදුකළ ප්‍රයත්නයක් නොවේ. මානුෂීය මෙහෙයුමට ශ්‍රේෂ්ඨ අරමුණු තුනක් තිබිණි. පළමු අරමුණ වන්නේ මව්බිමේ ඒකීයභාවය රකිමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමය. දෙවන අරමුණ වන්නේ අන්තවාදය හා ත්‍රස්තවාදය පරාජය කොට සාමය හා සංහිඳියාව රට තුළ ස්ථාපිත කිරීමය.

තෙවන අරමුණ වන්නේ සමස්ත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය, නිදහස හා මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ය.

අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව කොටි සංවිධානය හැඳින්වූයේ ලොව අංක එකේ ත්‍රස්ත කල්ලිය හැටියට ය. ඔවුන් සතු අවි බලය, උපාය මාර්ග හා ප්‍රචණ්ඩත්වය ඊට හේතු සාධක වන්නට ඇත. විමුක්ති කොටි ශ්‍රී ලංකා භූමිය තුළ බිහිවන්නේ ද එම සංවිධානය මෝරා වැඩෙන්නේ ද ජාත්‍යන්තරයට බලපෑම් කළ හැකි තරමට බලවත් වන්නේ ද අපේ දේශපාලන නායකයන් ගනු ලැබූ වැරැදි තීන්දු තීරණ හා වැරැදි හැසිරීම් රටා නිසා ය. දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා උතුරු නැඟෙනහිර ඡන්ද ප්‍රමාණය එම නායකයන්ට අවශ්‍ය විය. බටහිර බලවතුන් සතුටු කිරීම සඳහා ඔවුන්ගේ මාර්ගෝපදේශන පිළිපැදීමටත් එම නායකයන්ට සිදුවිය. 1977 සිට 2005 දක්වා රට පාලනය කළ කිසිදු නායකයකු ත්‍රස්තවාදය හා බෙදුම්වාදය පරාජය කිරීම සඳහා නිවැරැදි තීන්දුවක් ගත්තේ නැත.

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වරක් කියා සිටියේ නායකයන් ඉදිරියට පැමිණ සාම සාකච්ඡා පවත්වන විට; ඊට පිටුපසින් යුද්ධය ආරම්භ වී ඉදිරියට ඇදෙන බව ය. එහෙත් අපේ බොහෝ නායකයන්ගේ විශ්වාසය වූයේ සාම සාකච්ඡා මගින් සියල්ල විසඳාගත හැකි බවය. තිම්පු, ඔස්ලෝ, ජිනීවා, ටෝකියෝ ආදී සාම සාකච්ඡා හා ගිවිසුම් ඔස්සේ ත්‍රස්තවාදය නිමා වූයේ නැත. ගැටුම් අවම වූයේ නැත. සිදුවූ එක ම නස්පැත්තිය වූයේ කොටි සංවිධානයේ ම්ලේච්ඡ පහරදීම් උත්සන්න තැනකට තල්ලු වීම පමණි. කොටි සංවිධානය රට පුරාම මිනිස් ඝාතන, පිපිරවීම් හා විනාශකාරී පහරදීම් සිදුකළේය. ඔවුන්ගේ ඉලක්කය වූයේ රටේ ආර්ථිකය හා දේශපාලන ස්ථාවරත්වය දුර්වලකරමින් වෙනම රාජ්‍යයක් දිනාගැනීම බව ඉතා පැහැදිලිය.

කොටි සංවිධානයේ අතිශය අමානුෂීය බලපෑම එල්ල වී තිබුණේ උතුරේත් නැඟෙනහිරත් සාමාන්‍ය ජනතාව වෙත ය. උතුරේ දෙමළ ජනතාවගේ සකලවිධ මානුෂීය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කර තිබිණි. සියලු දේශපාලකයන්ගේ කට වසා තැබිණි. ළමයින් පැහැරගෙන ගොස් යුද්ධයට තල්ලු කැරිණි. ඔවුන්ට යුද්ධය හෝ මරණය හෝ තෝරාගැනීමට සිදුවිය. නැඟෙනහිර මුස්ලිම් ජතාවගේ වාසභූමි උදුරා ගැනිණි. ඉස්ලාම් ආගමික සිද්ධස්ථානවලට ප්‍රහාර එල්ල කළ අතර බැතිමතුන් වෙඩි තබා මරා දැමිණි. නැඟෙනහිර වී අස්වැන්න උදුරා ගැනිණි. මේ තත්ත්වය යටතේ සමහරු රට හැර ගියහ. තව සමහරු දකුණට සංක්‍රමණය වූහ. දෙමළ ජනතාවගේ සංස්කෘතික ජීවිතය හා අධ්‍යාපනය මුළුමනින්ම බිඳ වැටිණි. මුස්ලිම් ජනතාවගේ සාමකාමී ජීවිතය දෙදරා වැටිණි.

සියල්ල රැකගැනීමට යන පුද්ගලයා කිසිවක්ම ආරක්ෂා කරගන්නේ නැතැයි මහා පෙඩ්රික් රජු කියා තිබේ. නායකයන් රාජ්‍ය පාලනයේදී නිවැරැදි දේ තෝරාගත යුතු ය. නිර්භීත තීන්දු ගත යුතු ය. එවකට රාජ්‍ය පාලකයා වූ මහින්ද රාජපක්ෂ මහතා අතිශය තීරණාත්මක අවස්ථාවකට එළැඹියේ මාවිල්ආරු සිද්ධියත් සමඟ ය. එම සිද්ධියෙන් ආරම්භ වූ මානුෂීය මෙහෙයුම වසර දෙකකුත් මාස දෙකක් ගෙවී ගිය තැන අවසන් වූයේ රටේ භෞමික අඛණ්ඩතාව හා මානුෂීය නිදහස තහවුරු කරමින් ය. ඒ වනවිට කොටි සංවිධානය හා ඔවුන්ගේ ත්‍රස්තවාදය අවසන් වී තිබිණි. ලොව බලගතුම ත්‍රස්ත සංවිධානය ලෙස ඉන්දියාවට පවා බලපෑම් කළ කොටි කල්ලිය පරාජයට පත් කළේ අපේ ම ක්‍රමවේද හා උපාය මාර්ග ඔස්සේ ය. බටහිර බලවත් ජාතීන් පවා ආපසු හැරී ශ්‍රී ලංකාව දෙස බලන්නට වූයේ මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණයෙන් පසුවය.

උතුරේ දෙමළ ජනතාවට ද නැඟෙනහිර මුස්ලිම් ජනතාවට ද නිදහස් ජීවිත මේ වනවිට ලැබී තිබේ. ප්‍රජාතන්ත්‍රීය අයිතිය තහවුරු වී ඇත. දේශපාලකයන්ට රජය විවේචනය කිරීමේ හැකියාව පමණක් නොව; රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවීමේ අවස්ථාවද තිබේ. ඒ හැරෙන්නට උතුර හා නැඟෙනහිරට සංවර්ධනය ළඟා වී තිබේ. සමස්තයක් ලෙස ගත් කළ මුළු රට ම නිදහස් ය. මේ නිදහස බලවත් පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර බලපෑම් හමුවේ හිස නොනමා දේශපාලන විවේචන හා කඹඇදීම් දරා ගනිමින් මානුෂීය මෙහෙයුමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දුන්නේය. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා නායකයෝ මෙහෙයුමට අවශ්‍ය තාක්ෂණික නායකත්වය ලබාදුන්හ.

වන්නි මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණය සටහන් වී ඇත්තේ අපේ වීරෝදාර රණවිරුවන්ගේ ලෙයින් කඳුළෙන් හා දහදියෙන් බව අමතක නොකළ  යුතු ය. මෙහෙයුම සඳහා දිවිපිදූ විරුවන්ගේ ගණන විශාල ය. සදාකාලික ආබාධිතයන් බවට පත්වූ පිරිසද විශාලය. ඔවුන් මනුෂ්‍යත්වය වෙනුවෙන් ජීවිතය කැප කර තිබේ. සෙබළකුගේ තුවක්කුවට පසුපසින් දයානුකම්පාව පිරි හදවතක් ඇතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වරක් කියා තිබේ.

නව අදහස දක්වන්න