කොරෝනා වෛරසය පාලනයට ආයුර්වේදයේ පිළියම් | දිනමිණ


 

කොරෝනා වෛරසය පාලනයට ආයුර්වේදයේ පිළියම්

උපදෙස් - ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ, විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ඩී.එඩ් තෙන්නකෝන් මහතා

කොරෝනා ඉතා සීඝ්‍රයෙන් පැතිරී යන රෝගී තත්ත්වයකි. කොරෝනා වෛරසය ( Covid - 19 ) ආසාදනය වී බරපතළ තත්ත්වයට පත්වුවහොත් මරණයට පවා පත් වීමට පුළුවන. ඒ නිසා මෙම වෛරසය ආසාදනය වීමට පෙර ආසාදනය වීම පාලනය වීමට පියවර ගත යුතු ය.පහත දැක්වෙන්නේ මෙම වෛරසය පාලනය කිරීම පිළිබඳව ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ, විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ඩී.එඩ් තෙන්නකෝන් මහතා දැක්වු අදහස් එක් කරමින් සකස් කළ සටහනකි.

රෝග ලක්ෂණ-

සෙම්ප්‍රතික්ෂාව,හිසරදය,උගුරේ වේදනාව,ඇඟපත වේදනාව,හුස්ම ගැනීමේ අපහසුව,උණ,කැස්ස,ඇඟ සීතල වීම,සන්ධි වේදනාව,වමනය, පාචනය,මෙම රෝග ලක්ෂණ සියල්ල එකවර හට නොගනී.ක්‍රමයෙන් දින කිහිපයක් තුළ හට ගනී.මුල්ම දින 1-3 කාලය තුළ සෙම්ප්‍රතික්ෂා ලක්ෂණ පෙන්නුම් කරයි.උණ නොමැති විය හැකි ය.සාමාන්‍ය ලෙස ආහාර ගත හැකි ය.ශරිර අපහසුතා නෙපෙන්වයි.දින 03 ක් ගත වූ පසු උගුරේ අමාරුව,උගුර බැරන්ඩිය, මඳ උණ ගතිය, ආහාර අරුචිය, සන්ධිවල වේදනාව හටගනී.දින 05-06 ගත වන විට සෙම් සහිත හෝ වියළි කැස්ස, හිසරදය,උණ හට ගැනීම,ශරිර තෙහෙට්ටුව,ඇඟ සීතල වීම,ගිලීමේ අපහසුව,ඔක්කාරය,වමනය,හුස්ම ගැනීමේ අපහසුව ඇති වේ. දින 07 පරණ වන විට ඉහත රෝග ලක්ෂණ අධික වන අතර හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණය අධික වේ.මේ අවස්ථාවෙන් පසු රෝග තත්ත්වයන් සුව නොවුනහොත් රෝගය උත්සන්න වේ.නිව්මෝනියා වැනි රෝග තත්ත්වයකට පත් විය හැකි ය. කෙසේ වෙතත් රෝගියාගේ ශාරීරික තත්ත්වය මත මෙම රෝග ලක්ෂණ ඇති වීම ඉක්මන් වීමට හෝ ප්‍රමාද විය හැක.නිරෝගී පුද්ගලයකු යැයි උපකල්පනය කළ ද ඔහුට මෙම රෝගය සොයා ගැනීම සඳහා දින 10-14 පමණ ගත වේ.

අවධානම් කණ්ඩායම්-

වයෝවෘද්ධ අය,කුඩා දරුවන්,ගැබිණි මව්වරුන්,දියවැඩියාව,අධික රුධිර පීඩනය,ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අය අවධානම් සහගත කණ්ඩායම් වේ. විශේෂයෙන් ක්ෂය රෝගය,ඇදුම ඇතුළු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් පරිස්සම් විය යුතු ය.

කොරෝනා රෝගය වළක්වා ගැනීමට පොදු උපදෙස්-

කොරෝනා රෝගය ස්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගී තත්ත්වයක් වන නමුත් එය වාතය මඟින් බෝනොවේ.එහෙත් සෙම් සොටු කෙල ආදිය ඇස මුඛය නාසය වැනි ස්ථානවල තැවරීම නිසා වෛරසය ශරීර ගත වේ. මෙහිදී පහත උපදෙස් පිළිපැදීම වැදගත් වේ.

ආචාර කිරීමේදී සිප වැලඳ ගැනීම් අතට අත දීම ආදී ක්‍රම භාවිතා නොකිරීම ලාංකිකයන් වශයෙන් අප සතු ආචාර කිරීමේ පිළිවෙත වන ආයුබෝවන් කීම ඉතා වැදගත් ය. මුඛ ආවරණ පැළදීමෙන් මෙම රෝගය වළක්වා ගත හැකි ය.මෙයින් තමන්ට රෝගය වැලදීම මෙන් ම තමන්ගෙන් අන් අයට බෝවීම ද වැළකේ.කැස්ස,කිවිසුම් යාම ආදී අවස්ථාවලදී ලේන්සුවක්, ටිෂූ කොළයක් වැනි යමක් මඟින් මුඛය මතුපිට ආවරණය කර ගත යුතු වේ.අපි නිරන්තරයෙන්ම මුහුණ ඇල්ලීමට පුරුදු වී සිටී.

එය වුවමනාවෙන්ම වළක්වා ගත යුතු ය. සාමාන්‍යෙයන් කෙනෙක් විනාඩි 20-25 වතාවක් අතර කාලයක් මුහුණ ස්පර්ශ කිරීමට පිරිසිදු ජලයෙන් සබන් යොදා අත් සෝදා ගත යුතු ය.විශේෂයෙන් මධ්‍යසාර අඩංගු විෂබීජ නාශක භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.තමන් බැහැරට ගොස් පැමිණි වහාම ඇදුම් පැළදුම් සෝදා දැමිය යුතු වේ.එසේ සෝදා ගන්නා ලද ඇදුම් පැළදුම් ආදිය පැය 2 ක පමණ කාලයක් අව්වේ දමා වේලා ගත යුතු වේ.( බාහිර පරිසරයේ සූර්යතාපයට එය විනාශ වී යන නිසා).නිරන්තරයෙන් පුද්ගලයන් අතර මිටරයක පමණ දුර ප්‍රමාණයක් තබා ගත යුතු ය.රෝගී පුද්ගලයන්ගෙන් ඈත් වී සිටීමට සෑම විටම උත්සාහ ගත යුතු ය.

ජනාකීර්ණ පරිසරවල ගැවසීමෙන් වැළකිය සිටිය යුතු ය.පොදු ප්‍රවාහන සේවාවලදී ප්‍රවේසම් වීම සඳහා මුඛ ආවරණ පැළදිය යුතු වේ. අත්‍යවශ්‍ය හේතු මත මිස අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකී සිටිය යුතු ය. නිරත ජනයා ගැවසෙන ස්ථානවල , ජනයා විසින් ස්පර්ශ කරන ස්ථාන,වැසිකිලි දොරවල්,බස් රථය ආදිය අල්ලන ස්ථාන විෂ බීජ නාශනය කළ යුතු වේ.ඔබට එවැනි ස්ථාන ස්පර්ශ කිරීමට සිදුවුණහොත් වහාම සබන් ගා අත් සේදීම කළ යුතු වේ. උණුකර නිවාගත් ජලය මඳ උණුසුමින් යුක්තව නිතර පානය කළ යුතු ය. විනාඩි 5 කට වරක්වත් උණුසුම් ජලය පානය කළ යුතු ය.එවිට උගුරේ රැදී ඇති වෛරසය ආහාර මාර්ගයට ගිලී යයි.ආමාෂයට පැමිණි පසු එය අම්ල මගින් විනාශ වේ.

ශරීරයේ උණුසුම් අවස්ථාවල සහ අධික උෂ්ණත්වය නිසා ඇති වන පිපාසය සංසිදවීම සඳහා ශීත කළ බීම පානය නොකළ යුතු ය. එම ශීතල නිසා උගුරේ පවතින විෂබීජ පහසුවෙන් ක්‍රියාත්මක වේ.අයිස්ක්‍රීම් වැනි ශීත ආහාර ගැනීමෙන් වැළකිය යුතු ය. සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියළුම කාර්යය මණ්ඩලය ආරක්ෂිත උපකරණ භාවිතා කළ යුතු වේ.විශේෂයෙන් මුඛ ආවරණ/දෑත් ආවරණ, රෝගය වැළැක්වීමට සම්බන්ධව රජය විසින් ලබා දී ඇති උපදෙස් නිසි අයුරින් පිළිපැදීම අනිවාර්යය වේ. කුමන විදේශ රටක සිට පැමිණිය ද ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව විශේෂ අවදානය යොමු කළ යුතු ය.යම්කිසි රෝගී ලක්ෂණයක් ඇති වුවහොත් වහාම රෝහලකට යා යුතු ය. විදේශගතව පැමිණෙන අවස්ථාවලදී යානය තුළදී ගුවන් තොටුපල වලදී මෙම රෝගය බෝවීමට ඉඩකඩ ඇති බවට සැළකිලිමත් විය යුතු ය. මුදල් හුවමාරු ගනුදෙනුවලදී විශේෂ අවධානය යොමු කළ යුතු ය. ඔබ විදේශ රටක සිට පැමිණියේ නම් රජය විසින් ලබා දෙන උපදෙස් අකුරටම පිළිපැදිය යුතු ය.මන් ද ඔබට එම වෛරසය ඇතුළු වී ඇත්නම් ඔබගේ පවුලේ අයට එම වෛරසය ආසාදනය වීමට පුළුවන් වන බැවිනි. ප්‍රසිද්ධ ස්ථානවල මාර්ග දෙපස කෙළ ගැසීම, සෙම සොටු සූරා දැමීම අදී දෑ කිරීමෙන් වැළකිය යුතු ය.

මෙම රෝගය වෛරස් රෝගයක් බැවින් මෙම රෝගය සඳහා කිසිදු බටහිර හෝ ආයුර්වේද ප්‍රතිකාරයක් නොමැත.මෙම රෝගයෙන් සුව වීමට හැකි වන්නේ වෛරසයට විරුද්ධව ශරීරය තුළින් ම ඇති කර ගන්නා ප්‍රතිශක්තිය මඟිනි.එහෙයින් ප්‍රතිශක්තිය වර්ධනය කරන ආහාර පාන ගැනීම වඩාත් උචිත ය.විශේෂයෙන්ම රෝගය ඇතිවීමට පෙරාතුව පහත අහාර ගැනීමට පුරුදු වීම වඩාත් වැදගත් වේ.

ආහාර-

එදිනෙදා ආහාරයට ගන්නා ආහාර වේල සඳහා වැඩි වශයෙන්ගොටුකොළ,මුරුංගා,කතුරුමුරුංගා,කංකුං,මුකුණුවැන්න,සාරණ,නිවිති ආදිය එකතු කර ගත යුතු ය. මේවායේ පිරිසිදුතාවය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු ය.අමුවෙන් ආහාරයට ගන්නා විට ( සම්බෝල ) හොඳින් සෝදා පිරිසිදු කර ගත යුතු ය.

ආහාරයට එක් කර ගත යුතු කුළුබඩු-

සුදුලුණු ,රතුලුණු,ඉඟුරු,ගමිමිරිස්,කහ,එනසාල්,කරාබුනැටි

පලතුරු-

දෙළුම්,නෙල්ලි, පැඟිරි කුලයේ පලතුරු දෙහි, දොඩම්, ( විටමින් සී බහුල පලතුරු ) වෙරළු , කාමරංකා,අනෝදා,කොමඩු,ගස්ලබු, කෙසෙල් යන පලතුරු ආහාරයට ගත හැකි ය.විශේෂයෙන්ම දේශීය පලතුරු ආහාරයට ගත යුතු වන අතර විදේශවලින් ආනයනය කරන පලතුරු අහාරයට ගැනීම නොකළ යුතු ය.

මස් මාංශ-

පුරුදු මස් මාංශ ආහාරයට ගැනීම මිස වෙනත් සතුන්ගේ මස් මාංශ අනභවයෙන් වැළකිය යුතු ය.එමෙන්ම ආනයනික මස් මාංශ අනුභවයෙන් වැළකිය යුතු ය.

ප්‍රතිශක්තිය වර්ධනය සඳහා කැඳ වර්ග

වැල් පෙනෙල කැඳ, හාතාවාරිය කොළ කැඳ, එළබටු කොළ කැඳ සහ යකි නාරං කොළ කැඳ විශේෂයෙන් ස්වසන ප්දතියේ රෝග සඳහා වඩාත් ගුණදායක වේ.මොණරකුඩුම්බිය කොළ කැඳ , කුප්පමේනිය කොළ කැඳ , හීන්බෝවිටියා,ඉරමුසු/රසකිඳ/ගොටුකොළ මුකුණුවැන්න කොළ කැඳ ද වඩාත් යෝග්‍ය වේ.

වෙනත් ඖෂධ-

නෙල්ලි/රසකිඳ පානය, වෙනිවැල්ගැට/ කොත්තමල්ලි පානය , එළකිරිවලට සුදුලුණු දමා උණුකර බීමට ගැනීම,පස්පංගුව,පත්පාඩගම් කොත්තමල්ලි.

ප්‍රතිශක්තිය හීන වන ඇවතුම් පැවතුම්

අධික ව්‍යායාමය,නිදි මැරීම,දහවල් කාලයේ අධිකව නිදා ගැනීම,මධ්‍යසාර පානය කිරීම,තද සුළං හා ශීතලට නිරාවරණය වීම,ශරීරය උණුසුම්ව තිබියදී ස්නානය කිරීම,අධික ශීතල ආහාර ගැනීම ආදී දෑ සිදු කිරීමෙන් ශාරීරික ප්‍රතිශක්තිකරණය අඩු වන නිසා මේ දේවල් නොකළ යුතු ය. ක්‍රෝධ කිරීම,ශෝක වීම,අධික සංසර්ග, තද අව්වට වයසට පින්නට අසුවීම යන දෑ මඟින් ස්වසන පද්ධතිය ආශ්‍රීත රෝග පහසුවෙන් ඇති වීමට හැකි නිසා එවැනි දෑ පාලනය කර ගත යුතු ය.

උගුරේ ආසාදන සඳහා ප්‍රතිකාර-

ලුණු මිශ්‍ර උණු ජලයෙන් උගුරකට සේදීම ,කාමරංකා ගහේ පොතු තැම්බු වතුරෙන් උගුර කට සේදීම,හීන් මදුරුතලා මිටක් ගෙන එයට ගම්මිරිස් ඇට 4 ක් පමණ දමා තම්බා කට සේදීම ,උණුසුම් ජලය ටික ටික විනාඩි 5 වරක් පානය කිරීම ( උගුර තෙත්ව තබා ගැනීම මෙමගින් සිදු වේ )

ශරීරයේ උණ, වේදනාව, කැස්ස පවතින විට

ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල් ගැට තම්බා පානය කිරීම,විශ්ණු කාන්තිය ,හීන් මදුරුතලා මුල් ,වී ඉඟුරු කලං 4 බැගින් ගෙන කෂාය කර පානය කිරීම, කොහොඹ,බිං කොහොඹ,ආඩතෝඩා, රසකිඳ,දේවදාර,පත්පාඩගම් කලං 2 බැගින් ගෙන පත 8- 1ට සිදුවා උදේ සහ සවස පත භාගයක් පානය කළ යුතු වේ.

සිතාරාම ගුලි 4 උදේ/සවස ගැනීම, සුදර්ශන තේ හැඳි ක් උදේ/ සවස පානය කිරීම, කොහොඹ බිං කොහොඹ, කටුවැල් බටු, එළබටු, තොටිල පොතු, දියමිත්ත,ලුණුවරන පොතු,ඉගුරු කලං 1 යි මදට 10 බැගින් ගෙන පත 8-1 ට සිද උදේ/සවස පත භාගයක් ගත යුතු ය. කුඩා දරුවන් සඳහා මෙම මත්‍රාව වෛද්‍ය උපදෙස් මත අඩු කළ යුතු ය.

සටහන- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න