රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමට කරුණු දක්වන්න | දිනමිණ


 

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමට කරුණු දක්වන්න

නෙල්කා මැදගෙදර

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කරමින් යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මහාධිකරණය ලබා දුන් තීන්දුව නීති විරෝධී බව පවසමින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මෙම 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචානාධිකරණය ඊයේ (19) නීතිපතිවරයාට නොතිසි නිකුත් කළේය.

මෙම පෙත්සම අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (19) කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙසේ නොතිසි නිකුත් කෙරුණු අතර නැවත පෙත්සම 29 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවකට ජනාධිපති ධූර අපේක්ෂකයෙකුව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගිය බවට බවට අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් දොස්තර රාජිත සේනාරත්න මහතා රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

ඔහුට ඇප ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් මස 30දින නියෝගයක් නිකුත් කරන ලදී. එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝදන පෙත්සමක් විභාග කළ මහාධිකරණ එම ඇප නියෝගය අවලංගු කළේය.

මෙම මැයි මස (13)දෙන ලද එම මහාධිකරණ තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරු අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරනු ලැබූයේ ඉන් අනතුරුව ය.

එම මහාධිකරණ නියෝගය අවලංගු කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා තිබුණු අතර ඇප පනත වැරදි ලෙස අර්ථ දක්වා මෙම මහාධිකරණ නියෝගය දී ඇතැයි පෙත්සම මඟින් පෙන්වා දී ඇත. එබැවින් එම මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බව පෙත්සමෙහි දැක්විණි.

ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙත්සම වෙනුවෙන් පෙනී සිටි අතර එම මහාධිකරණ නියෝගය බල රහිත කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

නව අදහස දක්වන්න