සජිත්ගේ පක්ෂයේ නාමයෝජනාවලට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කෙරේ | දිනමිණ


 

සජිත්ගේ පක්ෂයේ නාමයෝජනාවලට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කෙරේ

නෙල්කා මැදගෙදර

සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් යුතු සමඟි ජනබලවේගය විසින් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් කර ඇති නාමයෝජනා පත නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඉදිරිපත් වී තිබේ.

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ නීතීඥ සනත් විජේවර්ධන මහත්වරු විසින් මෙම විරෝධතා ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කාර ඕෂල හේරත් මහතා අධිකරණයට කරුණු වසන් කර මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව එම විරෝධතාවල දැක්වේ. ඔහු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වන බවත් ඒ සඳහා නාම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් එහි සදහන් වේ. එහෙත් ඔහු එම කරුණු වසන් කර මෙම පෙත්සම ඉදිරිපත් කරන ඇති අතර අධිකරණය නොමග යවා ඇතැයි ද එහි සදහන් වේ. ඒ නිසා ඔහු අධිකරණය හමුවේ වරදකරුවෙකු බව ද එහි සඳහන් කර තිබේ.

එසේම පෙත්සම්කරු සමගි ජන බලවේගයේ හෝ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සාමාජිකයකු නොවන අතර මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔහුට නීතිමය අයිතියක් නැති අතර පෙත්සම පවත්වාගෙන යාමට අධිකරණයට නොහැකි බවටත් විරෝධතා වල සදහන් වේ.එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඔවුන් ඉල්ලා ඇත.

කෙසේ වුවද මෙම පෙත්සම මස ,22, වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (18) තීරණය කළේය. මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම එදින කැඳවනු ලැබිණි .

එහිදි පෙත්සම්කාර ඕෂල හේරත් මහතා හෝ ඔහු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටියේ නැත.

පෙත්සමෙහි වගඋත්තරකාර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය. පෙත්සම්කරු හෝ නීතීඥ නියෝජනයක් නැති බැවින් පෙත්සමට පදනමක් නැතැයි ඒ මහතා සඳහන් කළේය.

මෙම පෙත්සම මෙම මස 18,22,28 යන දිනයන් ගෙන් එකක දී කැඳවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මීට පෙර ඉදිරිපත් කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් වන ඕෂල හේරත් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙන් මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා, එහි සාමාජිකයන්, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නායක සේනක හරිප්‍රිය ද සිල්වා, එහි ලේකම් ඩයනා ගමගේ ඇතුළු පිරිසක් වගඋත්තර කරුවෝ කර සිටිති.

නව අදහස දක්වන්න