ඇඳිරි නීතියට කොටු වූ පානදුරේ 1300ක් ගම්බිම් බලා යති | දිනමිණ

ඇඳිරි නීතියට කොටු වූ පානදුරේ 1300ක් ගම්බිම් බලා යති

ඇදිරි නීතිය හේතුවෙන් ගම්බිම් බලා යාමට නොහැකිව පානදුර පොලිස් කොට්ඨාසයේ රැදී සිටි එක්දහස්තුන්සීයකට ආසන්න පිරිසක් ඔවුන් පදිංචි ප්‍රදේශ කරා පිටත් කර හැරීම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම සතිපොළ භූමියේදී පසුගිය 18 දා සිදු කෙරිණ. බණ්ඩාරගම, හොරණ, පානදුර උතුර හා දකුණ, මිල්ලනිය, මොරොන්තුඩුව, වාද්දුව, ඉංගිරිය, මොරගහහේන, අගුරුවාතොට ආදි පොලිස් වසම් තුළ 1300ක් පමණ පිරිසක් ලියාපදිංචි වී සිටි අතර මේ වන විට කර්මාන්තශාලා හා වැඩබිම් ආරම්භ කර ඇති බැවින් මේ පිරිසෙන් කොටසක් නැවත සේවය සදහා නතර විමට කටයුතු කර තිබේ .

ඔවුන් රැදි සිටි කාලය තුළ රජය විසින් විශාල වියදමක් දරා මේ පිරිසට වියළි ආහාර ඖෂධ මෙන්ම අවශ්‍ය රැකවරණයද ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් සමස්තයක් ලෙස බස්නාහිර පළාත තුළ කෝවිඩ් 19 මතුවීම සෞඛ්‍ය අංශ හා රජය විසින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාලනය කර ඇති බවත් මෙහිදි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවැසුවේය .

මේ පිරිස පිටත් වීමට පෙර ශරීර උශ්ණත්වය පරීක්ෂා කර විෂබීජ හරණයට ලක් කළ අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබා දීමද නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීම ද සිදු කෙරිණ .යාපනය , පුත්තලම , අම්පාර , මඩකලපුව ආදි දිවයිනේ විවිධ ප්‍රදේශවල පිරිස් පොලිස් නිලධාරින් භාරයේ මෙලෙස පිටත් කර හැරීමට කටයුතු කළ අතර ඔවුන් තමන් අයිති පොලිස් ස්ථාන වෙත භාර දීමෙන් පසුව පදිංචි ප්‍රදේශවලට යවා දින 14ක හෝ 28ක නිරෝධායන කාලයකට ලක් කිරීමටද කටයුතු කෙරේ .මේ අවස්ථාවට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ උදය රත්නායක, බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් රුවනි සමරතුංග, බණ්ඩාරගම ප්‍රාදේශිය සභා සභාපති දේවේන්ද්‍ර පෙරේරා, බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ශ්‍රීමාලි අමරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පොලිස් , වෛද්‍ය අංශවල නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ .

හල්තොට සමුහ විනිතා මානෙල් ගමගේ

නව අදහස දක්වන්න