රු.5000 දීමනාව ජනතාවට ලබා දෙන්න ආර්ථික සංවර්ධන නිලධාරීන් කඩිමුඩියේ වැඩ | දිනමිණ

රු.5000 දීමනාව ජනතාවට ලබා දෙන්න ආර්ථික සංවර්ධන නිලධාරීන් කඩිමුඩියේ වැඩ

අසේල කුරුළුවංශ

කොරෝනා අර්බුදය හමුවේ අසරණවූ ජනතාවට සහන සැලසීමට රජය ගෙනයන වැඩපිළිවෙළින් ආර්ථික සංවර්ධන නිලධාරීන් ඉවත්ව ගිය බවට පරාජිත දේශපාලන පක්ෂවල හා කිසිදු දිනක බලයට පැමිණිය නොහැකි දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්ව සිටින වෘත්තිය සමිති කිහිපයක් විසින් ගෙනයමින් තිබෙන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික නිහාල් වතුලියද්ද මහතා පවසයි.

මහනුවරදී ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසුවේය.

ආර්ථික සංවර්ධන නිලධාරීන් 140,000 ක් පමණ සංඛ්‍යාවක් ග්‍රාම සේවා වසම් 140,000 කදී මේවන විටත් රුපියල් 5000.00 රජයේ දීමනාව ජනතාව අතට පත්කිරීමේ වැඩපිළිවෙළ හා බද්ධව කටයුතු කරන බවත් එම වැඩපිළිවෙළ අවුල්කර දේශපාලන වාසි ගැනීමට පරාජිත දේශපාලන කණ්ඩායම් උත්සහ කරන බවත් වතුලියද්ද මහතා කීය.

ආර්ථික සංවර්ධන නිලධාරීන්ට දේශපාලන ඉලක්ක නොමැති බවත් මේ මොහොතේ රජය පවරා දී තිබෙන වැඩ කොටස රාජ්‍යය නිලධාරීන් ලෙස ඉටු කිරීමට බැඳී සිටින බවත් කී ඒ මහතා සමාජිකයන් 10-12 ක් එකතුකර ගැනිමට නොහැකි වෘත්තිය සමිති සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු පතුරුවා ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවද අවධාරණය කළේය.

ජනපති හා අගමැතිවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඒකාබද්ධ කරගනිමින් කොවිඩ්-19 වසංගතයෙන් රට මුදා ගැනීමට විධිමත් වැඩපිළිවළෙක් ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන සිටියදී ජනතාවට සහන සැලසීමට රජය ගෙනයන වැඩපිළිවෙළ අවුල් කිරීමේ කිසිදු වුවමනාවක් ආර්ථික සංවර්ධන නිලධාරීන්ට නොමැති බවත් එසේ සිදුකරන්නේ නම් එය ජනතාවට කරන අසාධාරණයක් බවත් හෙතෙම කීය.

නව අදහස දක්වන්න