යුද බියෙන් රට ගලවා ගැනීමේ ‍ෙගෟරවය රණ විරුවන්ට හිමියි | දිනමිණ

යුද බියෙන් රට ගලවා ගැනීමේ ‍ෙගෟරවය රණ විරුවන්ට හිමියි

නුවන් කොඩිකාර
චමීර ඇල්ලදෙණිය

යුද බිය ජන ජීවිතයේ කොටසක් වූ බෙදුණු රටක් වීමේ ව්‍යසනයෙන් අප මාතෘ භූමිය බේරා ගැනීමේ ගෞරවය රටේ සාමය වෙනුවෙන් සටන් වැදුණු සියලු රණවිරුවන්ට හිමිවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

සියලු පුරවැසියන් හට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම මාතෘභූමිය වෙනුවෙන් ජීවිත කැප කළ රණවිරුවන් හට කළ හැකි ඉහළම ගෞරවය බවත් ජනාධිපති රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ යුද විජයග‍්‍රහණයට වසර 11 ක් සපිරීම නිමිත්තෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී ඊයේ (19) පැවැති ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙලට එක්වෙමිනි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මැයි 19 ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂි දිනයක්. මීට වසර 11 කට පෙර 2009 මැයි මස 19 දා, අපි වසර 30 කට ආසන්න කාලයක් මේ රටට සාපයක්ව තිබූ බෙදුම්වාදී ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කළා. සේනාධිනායක ලෙස ඒ සඳහා නායකත්වය සැපයූවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසිනුයි. ත්‍රස්තවාදය අවසන් කිරීම මගින් ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමටත්, තම මානව අයිතිවාසිකම් නිදහසේ භුක්ති විදිමටත් හැකි වාතාවරණයක් ඇති කර දෙනු ලැබුවා.

වසර 30 ක් වැනි කාලයකට පසු නිදහස් ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇති කර, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබුවා. මේ රටේ ඕනෑම පුරවැසියකුට බාධාවකින් තොරව, රටේ ඕනෑම තැනක නිදහසේ සැරිසරන්නට හැකි වාතාවරණයක් යළි උදාකර දුන්නා. භීෂණයෙන් වෙලී තිබූ රටට සාමය උදා කිරීම සඳහා අපේ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් විශාල කැපකිරීමක්, පරිත්‍යාගයක් කළා. යුද්ධය රෝස මල් යහනාවක් නොවෙයි. විශේෂයෙන්ම නීතිය පිළිනොගන්නා ලෝකයේ බිහිසුණුතම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමඟ සටන් කිරීමේදී රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම් වලට හා දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා.

ඒ අවුරුදු 30 ඇතුලත, එක් ප්‍රදේශයක නෙමේ, රටේ සෑමතැනකම අසරණ සිවිල් මිනිසුන් මියගියා. මරාගෙන මැරෙන බෝම්බකරුවන්, බස් බෝම්බ, දුම්රිය බෝම්බ, ගොඩනැගිලිවලට බෝම්බ ගැසීම් ආදිය නිසා, මේ රට තුළ විශාල ජීවිත සහ දේපළ විනාශයක් ඇති වුණා. මානුෂිය මෙහෙයුමේ අවසාන අරමුණ වුණේ රටට දීර්ඝ කාලීන සාමය උදාකර දීමයි. රණවිරුවන් කළ ඒ සුවිශේෂී කැපකිරීම නිසා අද අපට ඒකීය රටක් තුළ නිදහසේ සහ සාමකාමීව ජීවත්වීම සඳහා අවස්ථාව ලැබී තියෙනවා.

බුදු දහමින් පෝෂණය වූ අපේ රටේ තිබෙන්නේ සියලුම ආගමිකයන්ට, සියලුම ජාතීන්ට ක්ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයක්. ඉතිහාසය පුරා මේ රට තුල සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදී සෑම ජනකොටසකටම සමානව ජීවත්වීමේ අයිතිය තිබුණා. අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ අපව බෙදා වෙන් කරන්නටයි. ඔවුන්ගේ අරමුණ ඉටුවුණා නම් අපේ ඉතිහාසය වෙනස් වෙනවා. ජනතාව එකිනෙකාට වෛර කරන, දේශ සීමාවන් සඳහා නිරන්තරයෙන් සටන් කරන, යුද බිය ජන ජීවිතයේ කොටසක් බවට වූ, තවත් එක් අවාසනාවන්ත, බෙදුණු රටක් බවට ලංකාව පත් වෙනවා. ඒ ව්‍යසනයෙන් රට මුදවාගැනීමේ ගෞරවය, දීර්ඝ කාලයක් මුළුල්ලේ අපේ රටේ සාමය වෙනුවෙන් සටන් කළ සියලූම වීරෝදාර රණ විරුවනට ලබා දිය යුතුයි.

දශක 3 ක කාලයක් පුරා මේ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න ඇතුළු සියලු රණවිරුවන්ව අප මේ අවස්ථාවේ දී ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

යුද හමුදාවේ අවුරුදු 20 ක් සක්‍රීය සේවයේ යෙදුණු නිලධාරියකු ලෙසත් පසුව දස වසරක් ආරක්ෂක ලේකම්වරයා ලෙසත් පුරවැසියකු ලෙසත් අපේ රණවිරුවන් කළ කැප කිරීම පිළිබඳ මට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. යුද්ධයේ වේදනාව මම හොඳින් හඳුනනවා. ඒ නිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදා කොට දුන් අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැතිකිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා දෙන්නෙ නෑ. මගේ රජය යටතේ මේ රටේ වීරෝදාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බව මම ඔබට සහතික වෙනවා.

ඔවුන්ගේ අයිතිවාසිකම් හැමවිටම සුරැකීම ජාතික වගකීමක්. ලෝකයේ බලවත් යයි හඳුන්වන රටවල නායකයන් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්න මා කිසිවිටකත් ඉඩ දෙන්නෙ නෑ. ඒ අනුව අපේ රටට අසාධාරණයක් වන ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවානම් එම ආයතන‍යේ හෝ සංවිධානවල සාමජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට මා කිසිවිටකත් පසුබට වන්නේ නෑ.

Even leaders of powerful countries have emphatically stated that they would not allow any action against their war heroes. As such, in a small country like ours where our war heroes have sacrificed so much, I will not allow anyone or organization to exert undue pressure on them and harass them.

If any international body or organization continuously target our country and our war heroes, using baseless allegations, I will also not hesitate to withdraw Sri Lanka from such bodies or organizations."

දශක 3 ක් පුරා බෙදුම්වාදයට එරෙහි සටනට දායකත්වය සැපයු සියලූම රණ විරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට අපි මේ අවස්ථාවේ ජාතියේ ප්‍රණාමය පුදකරනවා. රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් මේ රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීම ඔවුන්ට කළ හැකි ඉහළම ගෞරවයයි. ඒ සඳහා ඔබේ උපරිම දායකත්වය ලබාදෙන ලෙස සියලූම දේශමාමක පුරවැසියන්ගෙන් මේ රණ විරු ස්මාරකය අභියසදී මම ඉල්ලා සිටිනවා.

 

අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක, ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී ජයසුන්දර, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති යිස් අද්මිරාල් පියල්ද සිල්වා, ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්ත මහත්වරුන් ඇතුලු නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

නව අදහස දක්වන්න