කොරෝනා තත්ත්වය පාලනය වෙලා | දිනමිණ

කොරෝනා තත්ත්වය පාලනය වෙලා

නුවන් කොඩිකාර

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ

නාවික හමුදාවෙන් හඳනාගත් ආසාදියන් හැරුණු විට මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා තත්ත්වය පාලනය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වැලිසර නාවික හමුදා කඳවුර සහ අනෙකුත් කඳවුරු ආශ්‍රිතව පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සොයා බැලීමට සිව් පුද්ගල වසංගත රෝග විද්‍යාඥයන් කණ්ඩායමක් පත් කළ බවත් ඔවුන් සිය විමර්ශන වලින් අනතුරුව අදාළ වාර්තාව තමන් වෙත දැනුම් දුන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කීවේය.

එම වාර්තාව අනුව නාවික හමුදාවේ ඇතිවී තිබෙන කොරෝනා තත්ත්වය පාලනය කිරිම සඳහා තමන් විසින් නිර්දේශ කිහිපයක්ම නාවික හමුදාව වෙත නිකුත් කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ වැලිසර කඳවුරේ සේවය කොට දුරබැහැර ප්‍රදේශවල සිටි නාවික සාමාජිකයන් එම ස්ථානවල පිහිටි කඳවුරු වෙත යොමු කිරිමෙන් අනතුරුව පසුගිය දින වලදී ආසාදිතයන් වාර්තා වූ බව ඒ මහතා කීවේය.

මිට අමතරව කඳවුරු අතර සංචරණ තත්ත්වයන් සම්පුර්ණයෙන් නතර කරන ලෙසටද උපදෙස් ලබාදී ඇති බව පවසන ජාසිංහ මහතා මෙම නිර්දේශ නිසි පරිදි සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වසංගත රෝග වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් පත් කොට තිබෙන බව කියා සිටියේය.

පෙරේදා වාර්තා වූ ආසාදිතයන් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටී නාවික හමුදා සාමාජිකයන් 28 දෙනෙකු බව ඒ මහතා කීවේය.

මේ වන විට නාවික හමුදාවේ සාමාජිකයන් 578 දෙනෙක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 221 දෙනෙක් සුවය ලබා ඇති බව නාවික හමුදාව පවසයි.

නව අදහස දක්වන්න