සංචාරක කර්මාන්තයට යුරෝපා සංගමයෙන් මිලියන 3.5ක් | දිනමිණ

සංචාරක කර්මාන්තයට යුරෝපා සංගමයෙන් මිලියන 3.5ක්

නිමල් රාජපක්ෂ
මහින්ද අලුත්ගෙදර

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් බිඳවැටුණු මෙරට සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සඳහා යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 3.5ක් ප්‍රදානය කර තිබේ.

ඊට අදාළ යෝජනා කඩිනමින් තම සංගමය වෙත ලබා දෙන්නැයි යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi) මහතා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේය. යුරෝපා සංගම් තානාපතිවරයා හා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අතර පෙරේදා (19) පැවැති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය. මෙම ප්‍රදානය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් ස්තූතිය පළ කළ ඇමැති ප්‍රසන්න රණතුංග මහත, අදාළ යෝජනා කඩිනමින් යුරෝපා සංගමයට ලබා දෙන්නැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් දුන්නේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මේ වසරේ මාර්තු මාසයේ 19 වැනි දින ශ්‍රී ලංකාවට මගී ගුවන් යානා පැමිණීම අත්හිටුවන විට එම මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 71,370 කි. ඉන් සියයට 60 ක්ම පැමිණ ඇත්තේ යුරෝපා රටවලිනි.

නව අදහස දක්වන්න