බෝල්ට් දැන්‘තාත්තා’ කෙනෙක් | දිනමිණ

බෝල්ට් දැන්‘තාත්තා’ කෙනෙක්

කෙටි දුර ධාවන තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩක උසේන් බෝල්ට් පිය පදවියෙන් පිදුම් ලැබුවේය. ඔහුගේ දිගු කාලීන පෙම්වතිය කසී බෙනට් පසුගියදා දියණියක පුසූත කළ බව ජැමෙයිකානු පුවත්පත් නිවේදනය කළේය. උසේන් බෝල්ට් වෙත සුබ පැතුම් එක් කළ දහස් සංඛ්‍යාත ජනතාව අතරට ජැමෙයිකාවේ අගමැති ඇන්ඩෘ හෝල්නස් ද එක්විය.

කසී බෙනට් ජැමෙයිකාවේ ජනප්‍රිය මෝස්තර නිරූපන ශිල්පිනියකි. වසර 2016 දී බෝල්ට්ගේ පෙම් පුවත ලොවට හෙළිවෙද්දී ඔවුන්ගේ පෙම් සම්බන්ධතාවට වසර දෙකක් ගතවී තිබිණි. ඇය මේ වනවිට 30 හැවිරිදි වියෙහි පසුවන්නීය.

33 හැවිරිදි බෝල්ට් වසර 2017දී ක්‍රීඩාවෙන් සමුගත්ත ද අදටත් ලොව වේගවත්ම මිනිසා ලෙස වාර්තපොතට එක්වී සිටී. ඔහු 2009 වසරේ බර්ලින් ලෝක ශූරතාවලියේදී මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.58කින් නිමා කරමින් එම වාර්තාව තැබූ අතර මීටර් 200 තත්පර 19.19කින් නිමා කරමින් එම වාර්තාවත් තැබීමට සමත්වූයේ බර්ලිනයේදීමය. මේ වාර්තා ද්විත්වයම තවමත් නොබිඳී පවතී.

වාර 11ක්ම ලෝක කෙටි දුර ධාවන ශූරයා බවට පත්වූ උසේන් බෝල්ට් මිටර් 100 තරග ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්වයක් දිනූ ලොව එකම ක්‍රීඩකයා ද වේ. සිය තරග දිවිය තුළ රන් පදක්කම් 23ක් දිනාගැනීමට බොල්ට් සමත්වූ අතර 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 100 සහාය දිවීමේ තරගයෙන් ලැබූ රන් පදක්කම ඔහුට අහිමිවූයේ එම කණ්ඩායමේ සාමාජික නෙස්ටා කාටර් තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාවට හසුවීම හේතුවෙනි.

නව අදහස දක්වන්න