ඡන්දවලට බියෙන් පලා යෑම එජාපයේ ජාන ප්‍රශ්නයක් | දිනමිණ

ඡන්දවලට බියෙන් පලා යෑම එජාපයේ ජාන ප්‍රශ්නයක්

යහපාලනයත් සමඟ එය වැඩි වුණා

මැතිවරණයන්ට බයේ පලා යෑම එක්සත් ජාතික පක්ෂයේ ජාන ප්‍රශ්නයක් යැයි ද එය ඉකුත් යහපාලන ආණ්ඩු සමයත් සමඟ තීව්‍ර වූ බව හිටපු ඇමැති හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම පක්ෂය කැඩී යෑමත් සමඟ බිඳී යෑමේ ප්‍රතිශය අනුව මේ වන විට ජාන දෙකට බෙදී ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

මහනුවර පිහිටි කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බැව් පැවැසීය.

මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය අංශ නිර්දේශ කරන පළමු නිමේෂයේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකදු අඩියක්වත් පසුපසට නොගෙන මැතිවරණයකට යෑමට සූදානම් බවත් කොරෝනා නොව හෙම්බිරිස්සාවක්වත් නොමැති කාලයේ විපක්ෂය මැතිවරණවලට බියේ පළා ගිය බව හෙතෙම පෙන්වා දෙයි.

82 ලාම්පු කලගෙඩි සෙල්ලම හරහා මැතිවරණ කල් දැමීමේ අඳුරු ඉතිහාසයක උරුමය තිබෙන එජාපයට අතීතයේ සිට එම ජාන පිහිටා ඇතැයි ද ඔවුන්ගේ පාලනයන් තුළ න්‍යාය පත්‍රයේ පළමුවද, දෙවනුවද ,තෙවනුවද ඇත්තේ මැතිවරණ කල් දැමීම බවත් විපක්ෂයේ සිටිය දී එලෙසම මැතිවරණවලට බියේ පලා යෑම න්‍යාය පත්‍රයේ පළමු ස්ථාන තුනට හිමිව ඇති බවත් ඇමැතිවරයා කීය.

වර්තමානයේ රතු අලි පැටවුන්ට අමතකවූවාට 83 විජේවීරගේ පක්ෂය තහනම් කළ බවත් එදා දේශපාලනය කළ වාදේවලා හිරේට ගත්තා මෙන්ම මැතිනියගේ ප්‍රජා අයිතිය පවා අහිමි කළ බවත් රඹුක්වැල්ල මහතා පැවැසීය.

තමන්ගේ පක්ෂයෙන්ම ගෙන ආ පළාත් සභා අක්‍රිය කිරීම සඳහා එම මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමූ බවද එමෙන්ම පළාත් පාලන මැතිවරණය වසර දෙක හමාරකින් කල් දැමූ බවද හිටපු ඇමැතිවරයා කීය.

මැතිවරණ එපා කියමින් උසාවි ගොස් අද ඔවුන් පිංසේන්ඩු වන බවත් මැතිවරණ කල් දැමීමට ඔවුන් පාර්ලිමේන්තුවේ කිරීමට ගිය තක්කඩි වැඩේ අද බල රහිත වී ඇති බවත් හෙතෙම පැවසීය.

පිට රටවල සිටින අය ගෙන ඒම සිමා කරන විට රට විරුවන් හට එන්න දෙන්නේ නැතැයි කියූ විපක්ෂය ඔවුන් ආ පසු ඇයි ගෙනාවේ යැයි පවසන බවත් ආණ්ඩුව අද මොන යහපත් දෙයක් කළද ඔවුන්ට ඕනෑ ලෙස එය විවේචනය කරන බවත් රඹුක්වැල්ල මහතා කීය.

සාධාරණ නොවන විවේචන කරමින් දෙබිඩි ක්‍රියාවන් කිරීම හැර ඔවුනගේ පැවැත්මට අද කිසිදු පිළියමක් නැතැයිද හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඉන්දික පොල්කොටුව සහ එස්. කේ. සමරනායක

නව අදහස දක්වන්න