හිටපු කතානායක අධිකරණයට අපහාස කර ඇති බවට මෝසමක් | දිනමිණ


 

හිටපු කතානායක අධිකරණයට අපහාස කර ඇති බවට මෝසමක්

නෙල්කා මැදගෙදර

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා මනාප අංක නිකුත් කිරීම ඇතුළු මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධ නොතීසි භාර නොගැනීමෙන් හිටපු කතානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාස කැර ඇති බවට පැමිණිලි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් වී තිබේ.

එම පෙත්සමෙහි 7වැනි වගඋත්තරකරු වන හිටපු කතානායකවරයා ට නොතීසි භාර දෙන ලෙස අගවිනිසුරුවරයා නියෝගයක් කළ බව මෝසමෙහි දැක්වෙයි.

අවදානමකින් තොරව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තරම් කෝවිඩ් 19 වසංගතය පාලනය කැර ඇතැයි සෑහීමකට පත් වෙන බවට සඳහන් දිවුරුම් පෙත්සමක් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන්ට ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතාට නියම කරන ලෙස ද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් ආරියවංශ දිසානායක මෙම පෙත්සම ගොනු කැර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන්, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ සහ නීතිපති වරයා ඇතුළු නව දෙනෙක් මෙහි වගඋත්තර කරුවෝ වෙති. පාර්ලිමේන්තුව ඉකුත් මාර්තු මස විසුරුවා හැරි බවත් මැතිවරණය අප්‍රේල් මස 25වැනිදා පැවැත්වීමට නියමිත ව තිබූ බවත් පෙත්සමෙහි දැක්වේ. ඒ සඳහා නාම යෝජනා බාර ගත් අතර සිය පක්ෂයෙන් නාම යෝජනා 138ක් ඉදිරිපත් කළ බව පෙත්සම් කරු කියයි. එහෙත් කෝවිඩ් වසංගත ය පැතිරී ඇති නිසා එදින මැතිවරණ පැවැත්වීමට නොහැකි බව සඳහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කරන ලදී.

පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක කාලයක් පමණක් ජනාධිපතිවරයාට හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1),70(5)(c),32(3) යන ව්‍යවස්ථා වල සඳහන් වන බව පෙත්සම් කරු කියයි . ඒ අනුව එම කාල සීමාව ඉක්මවා පාර්ලිමේන්තුව රහිතව රට පාලනය කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි පෙත්සම් කරු කියයි .

මැතිවරණ පැවැත්වීමට ආදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති ලේකම්වරයා ගෙන් ඉල්ලා සිටි අතර එය අවශ්‍ය නොවන බව ජනාධිපති ලේකම්වරයා දන්වා යැවූ බවද පෙත්සමෙහි සඳහන් වේ.

එසේම කෝවිඩ් වසංගත ය පැතිරී ඇති නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යෑමට අපේක්ෂකයන්ට නොහැකි අතර එය නිසි පරිදි මැතිවරණය පැවැත්වීමට බාධාවක් බවද සඳහන් කැර තිබේ. ඉහත කරුණු අනුව පාර්ලිමේන්තු ව නොකැදවීමෙන් සහ සහ වගඋත්තරකරුවන් පියවර ගැනීමෙන් හෝ නොගැනීම මඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පෙත්සම් කරු පෙන්වා දී ඇත.

 

නව අදහස දක්වන්න