දුර්වල විපක්ෂය, ආණ්ඩුවත් ජනතාවත් කෙටවීමේ කුමන්ත්‍රණයක | දිනමිණ

දුර්වල විපක්ෂය, ආණ්ඩුවත් ජනතාවත් කෙටවීමේ කුමන්ත්‍රණයක

නුවන් කොඩිකාර

මැතිවරණ බිමේ සටන් කළ නොහැකිව දුවර්වල වී සිටින විපක්ෂය ඉන් ගැලවීමට නොහැකි තැන ආණ්ඩුවත් ජනතාවත් අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක නියැළී සිටින බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

මේ දිනවල විපක්ෂය විසින් සිදුකරනු ලබන ඇතැම් ප්‍රචාරවලින් එය මනාව ඔප්පු වෙමින් තිබෙන බවත් එවැනි කිසිදු පදනමක් නැති කතාවලට නොරැවටෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීවේය.

පසුගිය පාලන සමයේ දී ජනතාව දෙස හැරී නොබැලූ සමගි ජන බලවේගයට සම්බන්ධ පිරිස්, අද පාරට බැස විවිධ කතා කියමින් ජනතාව ඉදිරියේ කිඹුල් කඳුළු හෙළීමට පටන් ගෙන ඇති බවත් එම කඳුළුවලින් ජනතාව තවදුරටත් රැවටිය නොහැකි බවත් ඉදිරි මහ මැතිවරණයෙන් යළි යළිත් එය අවබෝධකරගත හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

දශක තුනක් පුරා දිව ගිය යුද්ධය කෙටි කලකින් අවසන් කළ සේ කොරෝනා වෛරසය ද ජය ගැනීමට වත්මන් ජනාධිපති, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හැකි බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා ඒ සඳහා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ලබාදෙන සහාය එය ජයගැනීමට මහත් රුකුලක් වී ඇති බව පැවැසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

කොරෝනා වෛරසය අපේ රටට ඇතුළු වෙලා කෙටි කාලයක් තුළ එම ව්‍යසනය පාලනය කර ගන්න අපිට හැකිවී තිබෙනවා. එවැනි දෙයක් පහසුවෙන් කරන්න පුළුවන්කම ලැබුණේ නිසි නායකත්වයක් රටට ලැබී තිබෙන නිසා. අපි ජනතාව අතරට යද්දී ඔවුන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති නොවුණ නම් අපි මැරුණු තැන්වල ගස් පවා පැළවෙලා ඇති කියලා. ජනතාවට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගැන හොඳ විශ්වාසයක් තිබෙනවා. තමන් පත්කර ගත්ත නායකයා කවදාවත් තමන්ගේ ජනතාව පාවලා දීලා බටහිර රටවලට ඕන විදියට නටන්නේ නැහැ කියලා දන්නවා.

තමන් රටේ ජනතාව වෙනුවෙන්, ආරක්ෂක හමුදාවන් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් කියන දේ රණවිරු විජග්‍රහණය වෙනුවෙන් පැවැත් වූ සැමරුම් උළෙලේ දී ජනාධිපතිවරයා නැවත වරක් ඔප්පු කර පෙන්නුවා. එතුමන් සෘජුවම කියා සිටියා රටට අහිතක් කරන ඕනෑම තැනකින් ඉවත් වෙන්න සූදානම් කියලා. සෘජු නායකත්වය කියන්නේ ඒ දේටයි.

සහරාන්ලගේ ප්‍රහාරය හමුවේ පසුගිය ආණ්ඩුව හැසුරුණු හැටි ජනතාව දැක්කා. යළි මරණ බිය ඇති වෙන්න ගත්තා. ආර්ථිකය කඩා වැටිලා ජන ජීවිතය අවුල් වෙන්න ගත්තා. ඒ වෙලාවේ රට පාලනය කළ පිරිස් කළේ එහාට මෙහාට බෝලෙ පාස් කරපු එක විතරයි. වගකීමක් ගන්න කවුරුවත් හිටියේ නැහැ. ඉන් වුණේ දියුණු වෙමින් පැවැති රට හිතාගන්න බැරි තරම් ආපස්සට යෑම විතරයි.

නව අදහස දක්වන්න