හෝමාගම යෝජිත ක්‍රිකට් පිටිය වහා ම අත්හිටුවීමට අගමැති නියෝග කරයි | දිනමිණ

හෝමාගම යෝජිත ක්‍රිකට් පිටිය වහා ම අත්හිටුවීමට අගමැති නියෝග කරයි

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නියෝග කළේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, හිටපු සහ වත්මන් ක්‍රිකට් නායකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් ඇතුළු පිරිසක් සමඟ ඊයේ (21) අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අගමැතිවරයා විසින් මේසේ නියෝග කරන ලදී.

මේ සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු ව හෝමාගම ඉදිකිරීමට යෝජිත ක්‍රිකට් ක්‍රීඩා පිටිය අත්හිටුවන ලෙසත්පාසල් ක්‍රීඩා කටයුතු දියුණු කිරීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමට සහ දැනට පිහිටි ක්‍රීඩාංගණවල පහසුකම් දියුණු කිරීමට ද වහා ම කටයුතු කරන මෙන් අගමැතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් වන රොෂාන් මහානාම, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාරද, වත්මන් විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග යන මහත්වරු ද, ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ නිලධාරීහු ද, ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුද අගමැතිවරයා සමඟ පැවැති මේ සාකච්ඡාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න