මැ.කොමිසම කියන දාට ඡන්දය තියන්න සෞඛ්‍යාරක්ෂාව දෙන්න සූදානම් | දිනමිණ

මැ.කොමිසම කියන දාට ඡන්දය තියන්න සෞඛ්‍යාරක්ෂාව දෙන්න සූදානම්

සුභාෂිණී සේනානායක

මැතිවරණ කොමිසම දැනුම් දෙන ඕනෑම දිනයක මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය ආරක්ෂාව ලබා දීමට සෞඛ්‍ය අංශ සුදානම් බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

කොවිඩ් - 19 වැළැඳුනු රෝගීන් සමාජය තුළින් මතු වීමේ තත්ත්වයක් නොමැති නිසා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව සෞඛ්‍ය අංශවල කිසිදු ගැටලුවක් නැතැයි ද ඇය පැවසුවාය. මැතිවරණය පැවැත්වීම හා කොවිඩ් - 19 වෛරස් තත්ත්වය සම්බන්ධයෙන් ‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියායය.

මැතිවරණය පැවැත්වීම ප්‍රජා අයිතියක් වන අතර මැතිවරණය සම්බන්ධයෙන් වූ පූර්ව ක්‍රියා සියල්ලක්ම මේ වන විට සිදු කර තිබෙන බව කී අමාත්‍යවරිය මැතිවරණය සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය නිකුත් කිරිම, නාමයෝජනා බාර දීම මෙන්ම මැතිවරණ දිනය ද ප්‍රකාශයට පත් කර ඇති බවත් මැතිවරණය පැවැත්වීම ගැන සෞඛ්‍ය අංශවලට ගැටලුවක් නැති බවත් පැවසුවාය.

මේ වන විට සමාජයෙන් කොවිඩ් - 19 රෝගියෙක් අවසන් වරට වාර්තා වී දින 21ක් ගතව ඇති බවත් ඉන් පසු අද වනතෙක් සමාජයෙන් කිසිදු රෝගියකු වාර්තා වී නැති බවත් නාවික හමුදා කඳවුරින් වාර්තා වන රෝගීන් සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විසින් මනා පාලනයකට ලක් කරනු ලැබ තිබෙන බවත් ඇය කියා සිටියාය. කොවිඩ් 19 රෝගය පාලනය සඳහා මේ රටේ සමස්ත ජනතාව විශාල සහායක් දැක් වූ බව කී අමාත්‍යවරිය මෙම වංසගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මනා කැපවීමෙන් කටයුතු කළ බව ද පෙන්වා දුන්නාය.

ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවලට කොරෝනා පාලනයේ දී අවශ්‍ය සහාය නොඅඩුව ලබා දුන් බවත් ජනතාව අතිශය දුෂ්කර කාලයක් ගත කරමින් ඔවුන්ගේ උපරිම සහාය රජයට ලබා දුන් බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

 

නව අදහස දක්වන්න