ලංකා හොස්පිටල්ස් කාර්ය මණ්ඩලයෙන් ජාතික කොවිඩ්-19 අරමුදලට ලක්ෂ 67කට අධික පරිත්‍යාග | දිනමිණ


 

ලංකා හොස්පිටල්ස් කාර්ය මණ්ඩලයෙන් ජාතික කොවිඩ්-19 අරමුදලට ලක්ෂ 67කට අධික පරිත්‍යාග

ජාත්‍යන්තරව පිළිගත් සම්මානනීය රෝහලක් ලෙස ප්‍රචලිත ලංකා හොස්පිටල්ස් සමූහයේ සභාපති වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ එහි කාර්ය මණ්ඩලය ජාතික කොවිඩ් - 19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ සුරක්ෂිතතා අරමුදලට රුපියල් මිලියන 6.7ක මුදලක් පරිත්‍යාග කළේය.

නව කොරෝනා වයිරසයට එරෙහි සටනට ආධාර පිණිස මේ මුදල් සම්භාරය ලංකා හොස්පිටල්ස්හි සභාපතිවරයාගේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සාමූහික දායකත්වයෙන් රැස් කරන ලදි. ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 පිටුදැකීමේ මෙහෙයුමේ පෙරමුණ ගත් සෞඛ්‍ය සේවයට හා අන් සියලු දෙනාට සහාය දැක්වීම සඳහා පසු ගිය මාසයේදී රජය විසින් මේ අරමුදල ස්ථාපිත කරන ලදි.

‘කොවිඩ් - 19 ගෝලීයව ව්‍යාප්තවීම නිසා ලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවත් අපේ ජීවිතවල ඉතා අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටිනවා. එනිසා මේ කාලයේ දී රට වෙනුවෙන් හැකි උපරිම සහයෝගය දීම සියලු දෙනාගේම වගකීමක් බව අපගේ විශ්වාසයයි.

දිවයින පුරා වෛද්‍ය, හෙද සහ අනෙකුත් සෞඛ්‍යාරක්ෂණ කාර්යය මණ්ඩල වයිරසය සමඟ සටන් කිරීමේ පෙරමුණට පැමිණ සිටින අතර, ඔවුන්ගේ නොමද දායකත්වය හා කැපවීම නොමැතිව අපට නැවතත් සාමාන්‍ය වාතාවරණය උදා කර ගන්නට බැහැ. එබැවින් ලංකා හොස්පිටල්ස් කාර්ය මණ්ඩලය මහත් අභිමානයෙන් හා කෘතඥතාවෙන් යුක්තව ස්වකීය දායකත්වය කොවිඩ් - 19 අරමුදලට මේ අයුරින් ලබා දෙනවා.‘ ලංකා හොස්පිටල්ස් වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරි හා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විමල් කරඳගොඩ මහතා පැවසීය.

සෞඛ්‍ය සේවා අංශයේ අතිශය කීර්තිමත් ජාත්‍යන්තර හා ජාතික සම්මාන රැසක් දිනූ ශ්‍රී ලාංකීය රෝහලක් වන ලංකා හොස්පිටල්ස් ජාත්‍යන්තර තත්ත්ව සහතිකයේ 6 වන අදියරත් හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝහල මෙන්ම වෛද්‍ය සංචාරක තත්ත්ව සංධානයේ (Medical Travel Quality Alliance – MTQUA) World Respected Medical Tourism සහතිකය ද දිනා ගත් රෝහලකි. එමෙන්ම අමෙරිකානු ව්‍යාධිවේදීන්ගේ විද්‍යාලයේ (CAP) පිළිගැනීමට ලක්වූ ශ්‍රී ලංකාවේ එකම රසායනාගාරය ඇත්තේද ලංකා හොස්පිටල්ස්හිය.

නව අදහස දක්වන්න