අලුත් වීමට අවස්ථාවක් | දිනමිණ


 

අලුත් වීමට අවස්ථාවක්

මීළඟ පාර්ලිමේන්තුවේදී අපට ආර්ථික ක්‍රමය, අපනයන වෙළඳාම, විදේශ ප්‍රාග්ධනය සහ විදේශ මූල්‍ය සොයා ගැනීම් පිළිබඳව අලුතින් සිතීමට සිදු වේ. එසේ ම ආහාර සුරක්ෂිතතාවය ඇති කරගැනීම ද මැනවින් අවධානය යොමු කළ යුතු කරුණකි.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ හුදෙක් අප පමණක් නොව මුළු ලෝකය ම මුහුණ පා සිටිනුයේ ඉතාම බරපතළ උවදුරකට ය. මෙවන් ව්‍යසනයවලදී වෙනත් රජයන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ රටක් ලෙස අපට යම් අවබෝධයක් ඇත. ඒ අනුව බලන කල වත්මන් රජය ඉතාමත් සාධනීය, ධනාත්මක, ප්‍රායෝගික සහ ඉදිරිගාමී ආකෘතියක් තුළ හිඳිමින් මෙම උවදුරට මුහුණ දුන් බව මැනවින් පැහැදිලි වේ. කෙසේ වෙතත් මෙවැනි උවදුරු අවස්ථාවලදී කිසිවකුටත් තම සිතැඟි අනුව ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැත . මන්ද මෙය වසංගත තත්ත්වයක් බැවිනි . සුදුසු වෛද්‍ය උපදේශනයක් තුළ හිඳිමින් මේ සම්බන්ධ තීන්දු තීරණ ගනු ලැබුවේ එබැවිනි. මේ උදෙසා ශක්තිමත් කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන් විසින් වෛද්‍ය ක්ෂේත්‍රය සහ ආරක්ෂක අංශ මුල්කර ගැනීමට හේතු වූයේ ද මෙය වෛද්‍යමය ඇසකින් බැලිය යුතු අර්බුදයක් වීම යි. ඇඳිරි නීතිය පැනවීම පවා වෛද්‍ය විද්‍යත්මක පදනමක් තුළ සිටිමින් සිදු කරන ලද්දකි. 

මේ මොහොතේ වෛද්‍ය උපදේශනය මත ක්‍රියාත්මක වීමේ වැදගත්කම හඳුනාගත් රජය වෛද්‍යමය වශයෙන් මෙම අර්බුදය කළමනාකරණය කරන්නට අවැසි දේ ලබාදෙමින් තීන්දු තීරණ ගනු ලැබීම සැබැවින් ම නුවණට හුරු ය.

කොවිඩ් - 19 පැතිර යෑමේ අවදානම අවම කරගැනීම වෙනුවෙන් රට අඛණ්ඩව දින ගණනක් වසා දමා තිබෙන විට ඇති විය හැකි වෙනත් අර්බුද සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් දෙවන කාර්ය සාධක බලකායක් ද පිහිටුවීය. මෙම දෙවන කාර්ය සාධක බලකාය පිහිටවනු ලැබුවේ ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සපයනු පිණිස ය. විදුලි බලය, ජලය, විදුලි සංදේශ යනාදී වූ සියලුම අත්‍යවශ්‍ය සේවාවන්වලට අපි මේ වන විට දැඩි ව හුරුපුරුදු වී සිටිමු. වෙළඳපොළ ආර්ථිකය තුළ අප සියලු දෙනා පාරිභෝජනීය වශයෙන් මේ සියල්ල බලාපොරොත්තු වන බව අමුතුවෙන් කිව යුතු නැත. එබැවින් මෙම දෙවන කාර්ය සාධක බලකායේ ප්‍රධානතම අභියෝගය බවට පත්වූයේ මෙවන් ව්‍යසන අවස්ථාවක දී මේ සියලු අත්‍යවශ්‍ය සේවාවන් කළමනාකරණය කරන්නේ කෙසේද? යන්න යි. එහිදී බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ කාර්යය නිශ්චිත ව සහ නිවැරදි ව ඉටු කිරීමට කටයුතු කළ බව කිව යුතුය.

පසුගිය දින 30 පුරාම අවශ්‍ය නිලධාරින් සහ ඉංජිනේරුවන් යොදවමින් නොරොච්චෝල විදුලි බලාගාරයේ කටයුතු පවත්වා ගත් බැවින් සාමාන්‍ය දිනවලදී විසන්ධි වන තරමටවත් විදුලිය විසන්ධි නොවී අඛණ්ඩව විදුලිය ලබාදීමට රජයට හැකියාව ලැබුණි. ජල බිල්පත, විදුලි බිල්පත, දුරකථන බිල්පත ගෙවීමට ජනතාවට අපහසු ම අවස්ථාවක වුවද ඒ කිසිවක් විසන්ධි නොකර සිටීමට රජය කටයුතු කළ ආකාරය සුවිශේෂී ය.

සතොස වැනි ආයතන 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී වසා දැමීම හේතුවෙන් රට තුළ තොග සහ සිල්ලර වෙළෙඳාම බොහෝ සෙයින් ඇදවැටී තිබුණ බව පැහැදිලි කරුණකි. ජනතාව ද අනුගත ව සිටියේ Super Market සංස්කෘතියකට ය. එවන් තත්ත්වයක් තුළ Super Market වසා දැමූ විට, බේකරි වසාදැමු විට රටම බඩගින්නේ ය. නමුත් වත්මන් රජය තත්ත්වය කණපිට හැරවූයේ ය. කොවිඩ් -19 වසංගතය හමුවේ අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලු කණ්ඩායම් වෙන කවරදාටත් වඩා වේගයෙන් වැඩ කළ බවක් පෙනෙන්නට තිබිණි. මෙරට රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටිනුයේ ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් බව රටට පමණක් නොව ලෝකයට ම පසක් විණි.

අනපේක්ෂිත වසංගත තත්ත්වය හමුවේ දුක්මහන්සියෙන් නෙළාගත් අස්වැන්නට කරකියාගත හැකි යමක් නැති ව ගොවීන් අසරණ වූ විට දිසාපතිවරුන් මාර්ගයෙන් එම අස්වැන්න මිලට ගෙන රට පුරා ආහාර අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ද දියත් විණි. තවත් අතෙකින් රට තුළ සාමාන්‍ය සේවා කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ද පැනනැඟිණි.

අනෙක් වැදගත් ම කාරණය වූයේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔවුන්ගේ නිවෙස් වෙත ම ලබාදීමට අවශ්‍ය කටයුතු යෙදීම ය. බැංකුවල ඇති මුදල් ලබා ගැනීම සඳහා ජංගම ATM රථ අලුතෙන් නිර්මාණය කළ අතර ඒවා රට පුරා යවන ලදි. මීට අමතර ව බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වූ රුපියල් 5000ක දීමනාව ද ලබාදීමට කටයුතු යෙදී ය. ඒ දෙස දේශපාලනික ඇසකින් බලා විවේචන එල්ල කිරීමට ඇතැමුන් පෙළඹුණ ද එම දීමනාව ලබාදුන්නේ චක්‍රලේඛයට අනුව ය. එසේ ම එම කර්තව්‍ය සිදු වූයේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයකු යන අයගෙන් සැදුම්ලත් කමිටුවක් මඟිනි.

ඇතැම් පිරිස් ප්‍රශ්න කරනුයේ බැසිල් රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්ය සාධක බලකායේ මූල්‍ය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඇති අයිතිය කුමක්ද යන්න යි. එසේ වුවද බැසිල් රාජපක්ෂ මහතා කිසිවිටෙකත් ජනාධිපති කාර්ය සාධක බලකායේ මූල්‍ය පිළිබඳ තීන්දු තීරණ ගන්නෙ නැති බැවින් කිසිවකුත් ඒ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් දැරිය යුතු නැත . එම කාර්ය සාධක බලකායේ කටයුතු නිරීක්ෂණය කරමින් ඒ තුළ සිටි පුද්ගලයකු ලෙස ඒ පිළිබඳ මට පුළුල් අවබෝධයක් තිබේ. බැසිල් රාජපක්ෂ මහතා එහි සම්බන්ධීකරණ ක්‍රියාදාමය ඉතාමත් නිවැරදි ව සිදු කරන බව යි පෙනී යන්නේ. එතුමා පහසුකම් සපයන්නකු ලෙස ඒ සියලු දේ ලිඛිතව, නිශ්චිතව, ජනාධිපතිතුමන්ගේ අනුදැනුම තුළ හිඳිමින් සිදු කරනවා විනා පෞද්ගලික සිතැඟි ක්‍රියාත්මක කරන්නෙක් නොවේ.

මෙරට පවුල් ලක්ෂ 57ක් සිටිතිෙ. සමෘද්ධිලාභී පවුල් දාහත් ලක්ෂ අනූ අට දහස් දෙසිය අනූ තුනකි. එසේ ම පසුගිය රජය විසින් ඉදිරිපත් කළ පොරොත්තු ලේඛනය තුළ හත්ලක්ෂ හැත්තෑපන් දහස් තුන්සිය පනස් තුන් දෙනෙක් සිටියහ. මේ සියලු කණ්ඩායම්වලට මේ වන විට රුපියල් 5000/- දීමනාව ලබාදී ඇත . මීට අමතර ව පසුගිය කාලය තුළ වැඩිහිටි දීමනාව ලබාගත් පුද්ගලයින් පන්ලක්ෂ හැත්තෑහතර දහස් තුන්සිය අසූහත දෙනකුද. ආබාධිත දීමනාව ලබාගත් පුද්ගලයින් එක් ලක්ෂ නව දහස් හාරසිය අනූ හතර දෙනකු ද වයස අවුරුදු සියය සම්පූර්ණ වූ පුද්ගලයින් 559 දෙනෙකු ද ගොවි රක්ෂණ දීමනාව ලබන්නන් එක්ලක්ෂ හයදහස් හත්සිය හැත්තෑපස් දෙනකු ද සිටින අතර ඔවුන් සියලු දෙනා වෙනුවෙන් ඒ ලබාදුන් දීමනා එයාකාරයෙන් ම ලබාදීමට අවශ්‍ය කටයුතු පසුගිය කාලය තුළ නිවැරැදි ව සිදු විය. එපමණක් නොව මෙම මාස දෙක තුළදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඔවුන්ට ලබාදීමටද රජය කටයුතු කළ බව සිහිපත් කළ යුතු ය.

මුලින් සඳහන් කළ පවුල් ලක්ෂ 57 තුළ තවත් අනු පවුල් වර්ග රැසකි. ඒ අනු පවුල් සියල්ල එක්ව ගත්විට පවුල් සංඛ්‍යාව ලක්ෂ 72කි. පළමු වටයේ ආධාර මෙි සියලු දෙනාට ම බෙදී ගොස් ඇත.

සහනාධාර බෙදාදීම සම්බන්ධයෙන් යම් පුද්ගලයකුට කිසියම් ගැටලුවක් හෝ යම්කිසි වැරදි චිත්‍රයක් ඇත්නම් එය නිරාකරණය කරගැනීම වෙනුවෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කාර්යාලවල මෙම සහනාධාර ලබාගත් පුද්ගලයින්ගේ ලැයිස්තු ඇති බව ද ඒවා ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දී ඇති බව ද විශේෂයෙන් කිව යුතු ය. අවශ්‍ය අයකු වේ නම් එම ලැයිස්තු පිරික්සිය හැකි ය. බෙදාදීමට වෙන් කළ සියලු සහනාධාර ලබාදී ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ය. ඔවුන් කිසිඳු ආකාරයකට ඒ දේවල් වැරදි ලෙස භාවිත නොකරනු ඇත. සහනාධාර ලබාදීම සම්බන්ධ කිසිවක් ජනතාවගෙන් සඟවා සිටීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැති අතර මෙම අසීරු අවස්ථාවේදී රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට හැකි සහයෝගය ලබාදීමට කටයුතු කළ බව ජනතාව ද මැනවින් වටහා ගත යුතු ය.

සහනාධාර ලබාදීමේදී යම් නිලධාරියකු අතින් යම් වරදක් සිදු ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ හැකියාවද පවතී. යම් නිලධාරියකු නිශ්චිතවම චේතනාන්විත ව යම්කිසි වරදක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් දඬුවම් කිරීමට ද අවශ්‍ය කටයුතු සිදු කෙරේ. සියලු සහනාධාර ලබාදීම් රජයේ විගණනයට යටත්ව සිදු කරනවා විනා කිසිඳු පුද්ගලයෙකුට රහසිගත ව ලබාදෙන දේවල් නොවේ.

මෙවන් අසීරු අවස්ථාවක රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් කොටසක් ඉල්ලීම සාධාරණද? යන පැනයත් ඇතැම් පිරිස් අතරින් නැඟුණ බව සැබෑවකි. ඇතැමුන් එම ඉල්ලීම දේශපාලනීකරණය කරගනිමින් කතා කළ ද පී.බී. ජයසුන්දර මහතා යනු ආර්ථිකය සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රශස්ත දැනුමකින් සන්නද්ධ, අවශ්‍ය තීන්දු තීරණ අවශ්‍ය වේලාවේදී නිවැරදි ව ගන්නා රාජ්‍ය නිලධාරියෙකි. එතුමා මතු කළේ රට තුළ මේ මොහොතේ මුදල් ගලායෑම තුළ අභ්‍යන්තරික ව අපට කළමනාකරණය කරගත හැකි සහයෝගයක් ලබාගැනීමට කිසියම් පරිත්‍යාගයක් නැතහොත් ආපසු ගෙවීමක් රජයේ නිලධාරීන්ගෙන් ලබාගත හැකිද? යන කාරණාව පමණි. මෙය එතුමාට පෞද්ගලික ව මුදල් ලබා ගැනීමක් හෝ පෞද්ගලික ව්‍යාපාරයකට මුදල් ලබා ගැනීමක් සම්බන්ධ කාරණාවක් ලෙස හෝ දකිමින් විවේචනය කළ යුතු නොවේ.එය ඉල්ලීමක් ඉදිරිපත් කළ ලිපියක් විනා චක්‍රලේඛයක් නොවන බැවිනි . මෙය Action එකක් බවට පත්වෙන්නේ යම්කිසි නිලධාරියකු මෙම ලිපිය මත පදනම් ව යම්කිසි මුදලක් රජයට ගෙවීමට තීරණය කළහොත් පමණි. චක්‍රලේඛයක් නම් එය අත්සන් කළ අවස්ථාවේ පටන්ම ක්‍රියාත්මකවේ. මේ දෙක අතර වෙනස හොඳින් වටහා ගත යුතු ය.

පවත්නා උවදුර හමුවේ රට යථාවත් කිරීමට කාර්ය සාධක බලකායේ ක්‍රියාදාමය එයාකාරයෙන් සිදු වන අතර තවත් අතෙකින් රට තුළ මැතිවරණයක අවශ්‍යතාව පැනනඟිමින් පවතී. මැතිවරණය යනු රටක ප්‍රජාතන්ත්‍රවාදය උරගා බැලීම සඳහා රටේ අයිතිකරුවන්ගේ නියෝජිතයින් පත්වන අවස්ථාවකි. මිලියන 15ක් වෙනුවෙන් තීරණ ගැනීමට සහ නියෝජනය කිරීමට අප පාර්ලිමේන්තුවට තෝරා පත්කොට යවන්නේ 225 දෙනෙකි. මෙම 225 ම අපගේ නියෝජිතයින් ය. මෙම මැතිවරණය නිදහස් ව, සාධාරණ ව, නියමිත ආකාරයෙන් පැවැත්වීමේ වගකීම පවතින්නේ මැතිවරණ කොමිසමට ය. මෙහිදී සාධාරණ මැතිවරණ නියමිත කාලයට පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවකි. කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් මැතිවරණය පැවැත්විය නොහැකි සේ ම එම වසංගත තත්ත්වයෙන් පසුවත් මැතිවරණය පැවැත්විය නොහැකි නම්, ඒ සඳහා සුදුසු අවස්ථාවක් එළඹෙන තෙක් මැතිවරණය නොපැවැත්වූවාට කම් නැත. එහෙත් එය හැම විට ම කිරීමට සුදුසු දෙයක් නොවේ. මෙම මැතිවරණය කල් දැමීම තුළ පළාත් සභා නැත්තටම නැති වෙමින් පවතී.

ආර්ථිකය සම්බන්ධයෙන් මෙන් ම ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් ද, ලෝකය පුරා ම අද වන විට අලුත් සිතීමක අවශ්‍යතාව පැනනැඟී ඇත. එක් අතෙකින් බලන විට මෙම කොරෝනා වසංගත තත්ත්වය අපේ ස්වභාවයට එල්ල වූ උවදුරකි. එයින් අපේ සංස්කෘතිය පවා යම් ආකාරයකින් වෙනස් කරගැනීමට අපට බලපෑම් එල්ලකොට තිබේ. මෙවර අප සිංහල හින්දු අලුත් අවුරුද්ද,වෙසක්,රාමසාන් සැමරුවේ නැත. අපේ ස්වභාවයට යම් අනතුරක් සිදු වූ විට සංස්කෘතිකාංග අපට පසුපසට ගැනීමට සිදු වනු ඇත. ස්වභාවයට පහර දෙන විට සංස්කෘතිය පසුබසී. අප මේ මොහොතේ මුහුණ පාමින් සිටිනුයේ එවන් තත්ත්වයකට ය. අද මේ උවදුර මුළු ලෝකයටම කියා දෙන්නේ වටිනා පාඩමකි. මෙයින් නවමු චින්තනයකට ලෝකය හුරු කෙරේ. මේ සම්බන්ධයෙන් සංකල්ප 03ක් යටතේ ඉදිරි දේශපාලනය වෙනස්වීමකට බඳුන් විය යුතු ය.

එනම් අවශ්‍යතා, මතවාද, සුසමාදර්ශ මොනවාද? යන්න සිතීමට මෙම තත්ත්වය අපට බල කරමින් සිටී. මෙම උවදුර වනාහී දේශපාලන ප්‍රශ්නයකට එහා ගිය යමකි. එක්සත් ජාතික පක්ෂයද? පොදුජන පෙරමුණද? කියන කාරණයෙන් ඔබ්බට යමින් සිතිය යුතු අවස්ථාවකි. මෙම වසංගත තත්ත්වය අපේ දොරට තට්ටු කරනුයේ අතිශය දැවැන්ත අභියෝගයක් ලෙසින් ය. එබැවින් එයට මුහුණ දීම වෙනුවෙන් අප සියලු දෙනා ම මනාකොට සූදානම් විය යුතු ය. සංවිධානය විය යුතු ය. මීළඟ පාර්ලිමේන්තුවේදී අපට ආර්ථික ක්‍රමය, අපනයන වෙළඳාම, විදේශ ප්‍රාග්ධනය සහ විදේශ මූල්‍ය සොයා ගැනීම් පිළිබඳව අලුතින් සිතීමට සිදු වේ. එසේ ම ආහාර සුරක්ෂිතතාවය ඇති කරගැනීම ද මැනවින් අවධානය යොමු කළ යුතු කරුණකි. රට තුළ සමූපකාර, සතොස ආකෘතිය රැකගන්නේ සහ වැඩිදියුණු කරගන්නේ කෙසේ ද? යන කාරණාවත් විශේෂයෙන් ම අපේ සෞඛ්‍ය ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්නේ කෙසේ ද? යන කාරණාවත් ලක්විය යුත්තේ නොමඳ අවධානයකට ය. මෙයාකාරයෙන් බලන කල දේශපාලන වශයෙන් මේ උවදුර හමුවේ අලුත් වීමට සහ උචිත පරිදි වෙනස් වීමට අප සියල්ලන්ට ම පාඩමක් කියා දී ඇත.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න