වෙඩි තැබීමේ තරගාවලි යළි ඇරැඹීමේ සූදානමක් | දිනමිණ


 

වෙඩි තැබීමේ තරගාවලි යළි ඇරැඹීමේ සූදානමක්

ෆවුස් මොහොමඩ්

මේ වසරේදී තරගාවලි 20කට සහභාගිවීමට ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිබුණු අවස්ථාව කොවිඩ් වසංගතය හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්වී තිබේ. ඒ අතරින් ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමය විසින් දේශීය තරගාවලි 10ක් සංවිධාන කිරීමට නියමිත වූ අතර මෙරට වෙඩි තැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදෙස් තරගාවලි 11කට සහභාගිවීමට ද නියමිතව තිබූ අතර ජාත්‍යන්තර තරගාවලි අතරින් මේ වසරේ ජනවාරි මස 10 වැනිදා සිට 17 දක්වා කුවේට් හී පැවැති ජාත්‍යන්තර තරගාවලියකට පමණක් සහභාගි විමේ අවස්ථාව මෙරට ක්‍රීඩකයන් තිදෙනකුට හිමිවී තිබිණි.

කෙසේ වුවත් කොවිඩ් වසංගතයේ අවදානම තුරන්වී යාමෙන් පසුව තරගාවලි වැඩි ප්‍රමාණයක් පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමයේ සභාපති ශිරන්ත පීරිස් මහතා විශ්වාසය පළ කළේය. කොවිඩි වසංගතය හේතුවෙන් සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයට අගුළු වැටෙද්දී වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමය විසින් විවෘත රයිෆල් සහ පිස්තෝල වෙඩි තැබීමේ ශූරතාවලිය වැලිසර නාවික හමුදා කඳවුරේ වෙඩි පිටියේදී පැවැත්වීමට සැළසුම් කරමින් සිටියේය. එම ශූරතාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ මාර්තු මස අග සතියේදීය.

මෙරට පැවැත්වීමට නියමිතව තිබූ දේශීය තරගාවලි අතර රයිෆල් සහ පිස්තෝල හා වායු රයිෆල් වෙඩි තැබීමේ ශූරතාවලි 4ක් වැලිසර නාවික හමුදා පිටියේ පැවැත්වීමට ද, තවත් තරගාවලි 6ක් පයාගල වෙඩි පිටියේදී පැවැත්වීමට ද සැලසුම් කර තිබිණි.

වර්තමානය වනවිට වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම නිරෝධායනයට පත් කර තිබීම නිසා එහි පැවැත්විමට නියමිතවූ තරගාවලි ද පයාගල පැවැත්වීමට ඇති හැකියාව කෙරෙහි වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමයේ අවධානය යොමුවී තිබේ.

‘වෙඩි තැබිමේ තරග ඉසව්ව පුද්ගලයන් අතර සම්බන්ධතාවක් නොසිදුවන ක්‍රීඩාවක් නිසා (non-contact sport) සෞඛ්‍ය බලධාරීන් විසින් කරන ලද නිර්දේශවලට අනුව අපට වෙඩි තැබීමේ තරගාවලි ඉදිරියේදී පැවැත්වීමට නිසැකවම හැකියාව තිබෙනවා.‘ ශිරන්ත පීරිස් මහතා එසේ කියා සිටියේ ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාසයෙනි.

 

නව අදහස දක්වන්න