ඉන්දීය පිල දකුණු අප්‍රිකාවේ සංචාරයට කැමැත්ත | දිනමිණ


 

ඉන්දීය පිල දකුණු අප්‍රිකාවේ සංචාරයට කැමැත්ත

දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතවීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. අනාගත ක්‍රිකට් කාලසටහනට ඇතුළත්ව නොතිබූ මේ තරගාවලිය එළැඹෙන අගෝස්තු මාසයේ දී තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියක් පැවැත්වීම සඳහා සාකච්ඡා සිදුකර ඇති අතර දෙරටේම රජයේ අනුමැතිය හිමිවන්නේ නම් පමණක් තරග සංචාරය සිදු වනු ඇත.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සව්රව් ගංගුලි මහතා සහ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රෑහැම් ස්මිත් මහතා අතර පසුගිය පෙබරවාරි මස මූලික සාකච්ඡා පවත්වා ඇති අතර පසුගියදා එම සාකච්ඡා අවසන්වී ඇත්තේ තරගාවලිය පැවැත්වීමේ එකඟතාවත් සමගිනි. කෙසේ වෙතත් අගෝස්තු මාසය වනවිට කොරෝනා වෛරසය පවතින තත්ත්වය සලකා බලා දෙරටේ රාජ්‍ය අනුමැතියත් හිමිවුණහොත් පමණක් මේ තරගාවලිය පැවැත්වෙනු ඇත.

ක්‍රීඩා සංගම් සහ ආයතන මේ දිනවල විශාල ලෙස ආර්ථික අර්බුදයන්ට ලක්ව ඇති අතර දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු සඳහා මේ තරගාවලියේ සත්කාරකත්ව⁣ය ඉතා වැදගත් වී තිබේ. 2019-20 තරග වාරයට පෙර, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි සිව් අවුරුදු කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 36ක අලාභයක් ගණනය කර ඇත. කොරෝනා වෛරසය හේතුවෙන් තවමත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට විශාල වියදමක් දැරීමට සිදු වී නැතත්, ඉන්දියානු තරගාවලියදකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් ස්ථාවර මූල්‍ය තත්ත්වයකට ගෙන ඒමට බොහෝ දුරට හැකියාව ලැබෙනු ඇත.

අනාගත ක්‍රිකට් කාලසටහන අනුව ඉන්දීය පිලට මීළගට ඇත්තේ ජූලි මස ශ්‍රී ලංකාවේ සීමිත ඕවර තරගාවලියක් වන අතර තවත් සීමිත ඕවර තරගාලියක් අගෝස්තු මාසයේදී සිම්බාබ්වේ හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන තරගමාලා දෙකම තවම තහවුරු කර නොමැති නමුත් ක්‍රීඩකයන්ට එය ආරක්ෂිත නම් ඉන්දියාව සංචාරය කිරීමට කැමැති බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් පවසයි.

අගෝස්තු මස අග දී ඉන්දියාවට සත්කාරකත්වය ලබාදීම දකුණු අප්‍රිකාවේ තරගාවලි දින දර්ශනයට බලපානු ඇත. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ජූලි මස මැද භාගයේ සිට ඔවුන් ටෙස්ට් තරග 2ක් සහ විස්සයි 20 තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රෑම් ස්මිත් පවසන්නේ කොදේ පිලට එංගලන්ත සංචාරටත් ඇති බැවින් මේ තරගාවලිය පසු දිනකට ගෙන යාම සඳහා කොදෙව් ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර දින වෙනස් කිරීමට උත්සාහ කරන බවයි.

නව අදහස දක්වන්න