සෞඛ්‍ය උපදෙස් මත ඡන්දය පවත්වා කඩිනමින් නව පාර්ලිමේන්තුව කැඳවන්න | දිනමිණ


 

සෞඛ්‍ය උපදෙස් මත ඡන්දය පවත්වා කඩිනමින් නව පාර්ලිමේන්තුව කැඳවන්න

ස්වර්ණා විජේකෝන්

ශ්‍රී.ල.නි.ප. මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක

සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම් අනුව කටයුතු කරමින් හැකි ඉක්මනින් මහ මැතිවරණය පවත්වා අලුත් පාර්ලිමේන්තුව කැඳවීම සිදු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුව කැඳවීම දිනෙන් දින කල් යාම රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයට යහපත් තත්ත්වයක් නොවන බවත් කොරෝනා වසංගත තත්ත්වය කවදා අවසන් වේ දැයි යන්න නිශ්චිතව කිව නොහැකි හෙයින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්විය යුතු බවත් දිසානායක මහතා ‘දිනමිණ’ ට ප්‍රකාශ කළේය.

රටේ පවතින ආර්ථික, දේශපාලන හා විවිධ සමාජ ප්‍රශ්න ජය ගැනීම සඳහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සහයෝගය අවශ්‍ය බවත් පවතින කොරෝනා තත්ත්වය ද සමඟ දේශපාලන ස්ථාවරත්වය ඇති කර රට ඉදිරියට ගෙනයාම සඳහා පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සඳහන් කරන පරිදි පැවැති පාර්ලිමේන්තුව රැස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කී ඒ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවිය යුතු බවද පෙන්වා දුන්නේය.

 

නව අදහස දක්වන්න