මැතිවරණය පවත්වන්න රටේ තත්වය සුදුසුයි | දිනමිණ


 

මැතිවරණය පවත්වන්න රටේ තත්වය සුදුසුයි

නෙල්කා මැදගෙදර

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති ලේකම්ට දන්වලා 
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

මැතිවරණය පැවැත්වීමට සුදුසු යහපත් වතාවරණයක් රට තුළ පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇතැයි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ(22) පැවැසීය.

ජුනි මස 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ(22) පස්වැනි දිනටත් සලකා බලන අවස්ථාවේ දී ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටිමින් නීතීඥවරයා මේ බව කියා සිටියේ ය.

තත්ත්වය එසේ තිබිය දී මැතිවරණ කොමිසම එම මැතිවරණ ක්‍රියා පටිපාටිය ආරම්භ කිරීම ප්‍රමාද කර සිටින්නේ ඇයි දැයි යන්න ගැටලුවක් බව ද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මේ බව ලිපියක් මඟින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන අතර එම ලිපිය සහ මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයා ට යොමු කළ ලිපියක් පංච පුද්ගල විනිසුරු මුල්ලෙහි සාමාජිකයන් ට නීතීඥවරයා මෙහිදී බාර දුන්නේ ය.

කෝවිඩ් වසංගතය පැතිරීම සාර්ථක ව පාලනය කර ඇති බව එම ලිපියේ සදහන් ව ඇති බව කී ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා, කෝවිඩ් වසංගතය සදහා එන්නතක් සොයා ගෙන නොමැති බැවින් සෞඛ්‍යාරක්ෂක උපදෙස් අනුගමනය කළ යුතු බවට ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ එමඟින් දැනුම් දී ඇති බවත් අධිකරණයට දන්වා සිටියේ ය.

කෝවිඩ් වසංගතය නිසා ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් පන්දහසක් ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳ ව මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එම නිවේදනයෙන් රුපියල් 5000 දීමනාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දී දේශපාලනය ඉවත් විය යුතු බවට කොමිසම සඳහන් කර ඇති බවත් නීතීඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

රජය රුපියල් පන්දහසේ දීමනාව ප්‍රදානය කරනු ලබන්නේ දේශපාලන අවශ්‍යතාවක් නිසා නොවන බව ත් කෝවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට මේ ආකාරයෙන් සහන ප්‍රදානය කිරීම ලංකාවේ පමණක් නොව ලොව පුරා සිදු වෙමින් පවතින බව ත් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා සලකා බැලිණ.

නව අදහස දක්වන්න