පකිස්තානු යානය කරච්චියට කඩා වැටෙයි | දිනමිණ


 

පකිස්තානු යානය කරච්චියට කඩා වැටෙයි

මහින්ද අලුත්ගෙදර
රක්ෂණ ශ්‍රියන්ත

- 107ක් මරුට 
- අනතුරට හේතුව අනාවරණය වී නෑ

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටීමෙන් යානයේ ගමන් ගත් මඟින් 99 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන් යානය ලාහෝර් නුවර සිට කරච්චි හි පිහිටි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පියාසර කරමින් තිබී ඇති අතර කරච්චි හී මිනිසුන් වාසය කරන ප්‍රදේශයකට යානය කඩා වැටී තිබේ.

එයාර් බස් ඒ 320 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක් ව තිබෙන අතර අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පකිස්ථානය තුළ මෙවැනි ගුවන් අනතුරු රැසක් සිදු වන බවත් 2010 වසරේ දී පෞද්ගලික සමාගමකට අයත් ගුවන්යානයක් ඉස්ලාමාබාද් නුවර ආසන්නයේ දී අනතුරට ලක්ව තිබෙන බවත් ය. එහි දී පුද්ගලයන් 152 ක් ජීවිතක්ෂයට පත් වූ අතර එය පකිස්ථාන ඉතිහාසයේ දරුණුත ම අනතුර ලෙස සැලකේ.

2012 වසරේ දී බෝයිං 737 වර්ගයේ යානයක් අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ රාවල්පින්ඩි නුවර දී කඩා වැටුණු අතර එහි දී කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ද සමඟින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 127 ක් වෙයි. එමෙන් ම තවත් පකිස්ථාන ගුවන්යානයක් ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරමින් සිටිය දී පුද්ගලයන් 47 දෙනෙකුට දිවි අහිමි කරමින් කඩා වැටිණි.

නව අදහස දක්වන්න