මත්තලින්-සෝල් නුවරට පළමු ගුවන් යානය 27 දා | දිනමිණ


 

මත්තලින්-සෝල් නුවරට පළමු ගුවන් යානය 27 දා

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලාංකේය ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට දකුණු කොරියාවේ සෝල් ජාත්‍යන්තර ගුවන් තොටපොළ දක්වා ගමන් කරන පළමු ගුවන් යානය එළඹෙන 27 දා පිටත් ව යයි.

දකුණු කොරියාවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් 160 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය දකුණු කොරියාව බලා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත් ව යන පළමු ගුවන් යානය ලෙස ඉතිහාසයට එක්වන අතර එය මියන්මාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දකුණු කොරියාවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිවාඩුව ගතකිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි පසුව කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් සියලු ගුවන් ගමන්වාර අවලංගු කිරීමත් සමඟ ඔවුන්ට යළි දකුණු කොරියාව බලා ගමන් කිරීමේ දී විවිධ බාධා පැමිණි නමුත් ශ්‍රී ලංකාවේ පැරඩයිස් ට්‍රැවල් පුද්ගලික සමාගම සහ දකුණු කොරියාවේ කොරියන් E 9 ට්‍රැවල් ආයතනය ඒකාබද්ධ ව සිදු කළ මෙහෙයුමකින් පසුව මේ පිරිස යළි එරටට රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

මේ ශ්‍රී ලාංකිකයන්ට මෙම කාලය තුළ රැකියාව අහිමිවීමේ අවදානමක් පැවැති අතර කෙසේ නමුත් ඉහත නම්කරන ලද සමාගම් දෙක එක් ව ක්‍රියාත්මකවීම හේතුවෙන් ඔවුන්ට යළි රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි ව තිබෙන බව පැරඩයිස් ට්‍රැවල් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උපුල් තාබෘ මහතා පවසයි.

දකුණු කොරියාව ආසියාවේ වේගයෙන්ම දියුණුවන ආර්ථිකයක් හිමි රටක් වන අතර සීඝ්‍ර තාක්ෂණික දියුණුවක් සමඟ ඉදිරියට පැමිණි කොරියාව, පසුගිය 2004 වසරේ දී තම ශ්‍රමික වෙළෙඳපොළ ලෝකයට විවෘත කළේ ය. කාර්මික නිෂ්පාදන ආයතනවල පවතින උග්‍ර සේවක හිඟය හේතුවෙන් අග්නි දිග ආසියාවේ හා දකුණු ආසියාවේ තරුණ පිරිස් රැකියා සඳහා එරටට ගෙන්වා ගැනීම එරට රජයේ උපක්‍රමය වී තිබෙන අතර ඒ අනුව Employment Permit System (EPS) යනුවෙන් විශේෂ ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.

එය ඇරඹි 2004 වසරේදීම ඊට ඇතුළත් වීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබූ අතර දෙරටේ ආණ්ඩු අතර ඇති කරගත් විශේෂ අවබෝධතා ගිවිසුමක් යටතේ එය ආරම්භ විය. ශ්‍රී ලංකාව ද ඇතුළත් ව නේපාලය, තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාර්, බංග්ලාදේශය, චීනය, පිලිපීනය, කිරිගිස්ථානය, උස්බෙකිස්ථානය ඇතුළු ආසියානු රටවල් 16න්ම වාර්ෂිකව කොරියා රැකියා සඳහා බඳවා ගන්නා ප්‍රමාණය 56,000 කට අධිකය. සාමාන්‍යයෙන් ලංකාවෙන් කොරියාවට වාර්ෂිකව රැකියා සඳහා පිටත්ව යන සංඛ්‍යාව 3,500ක් පමණ වන අතර ඒ සඳහා ඉල්ලුම් කරන සංඛ්‍යාව 22,000 කට අධික ය.

නව අදහස දක්වන්න