සෞඛ්‍ය උපදෙස් අනුව පොසොන් උත්සව පවත්වන්න අනුමැතිය | දිනමිණ


 

සෞඛ්‍ය උපදෙස් අනුව පොසොන් උත්සව පවත්වන්න අනුමැතිය

සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ ඊයේ (22) දැනුම් දුන්නේ ය.

පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (22) පැවැති සාකච්ඡාවේ දී මෙම තීරණවලට එළැඹිණි.

කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විට සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හෙයින් දුරස්ථභාවය රැකෙන අන්දමින් මෙවර පොසොන් පොහොය දින සීල ව්‍යාපාර පැවැත්වීමට ද එහි දී තීරණය විණි.

‘ආරෝග්‍යාපරමා ලාභා”තේමාව යටතේ, මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැද මළුවේ දී පැවැත්වෙන අතර ලොවම සෞඛ්‍ය ගැටලූවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ රාජ්‍ය වෙසක් උත්සවය සැමරූ ‘ආරෝග්‍යාපරමා ලාභා”තේමාවම රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමට ද සුදුසු බව එහි දී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ අනුව මිහින්තලා පුද භූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය, අටස්මස්ථාන ආශ්‍රීතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් ද ඇතුළුව රට පුරා පැවැත්වෙන පොසොන් පිංකම් වෙනත් වර්ෂවල මෙන්ම පිරිත් දේශනා, හේවිසි පූජා, කප්රුක් පූජා, සහ මාධ්‍ය ආයතනවල අනුග්‍රහය ඇති ව ආලෝක පූජා පැවැත්වීම ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදුකරේ.

අවදානම් පිරිස් ලෙස සැලකෙන යම් යම් රෝග තත්ත්වයන් පවතින අය හා වයස්ගත පිරිස් සීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් වලකින ලෙස ද මෙහි දී සෞඛ්‍ය අංශ අවධාරණය කළේ ය.

ඒ අනුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස්ලබා ගනිමින්, පන්සල්අවට සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් සීල ව්‍යාපාර පැවැත්වීමට හැකියාව ලැබෙයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දැනුම්වත් කිරීමට ද මෙහි දී තිරණය විය.

මෙවර පෙරහැර පිංකම් අත්‍යාවශ්‍ය අංග පමණක් සහභාගිකර ගනිමින් විහාරස්ථාන භූමියට පමණක් සීමා කිරීම මඟින් ජන සහභාගීත්වය අවම කිරීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ දැනුම් දුන්නේ ය.

මෙහි දී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

පන්සලෙන් ජනතාව ඈත් කිරීම නොකළයුතු වුවත් ලෝකයම මුහුණ දීලා තියෙන අවදානම් තත්ත්වය නිසා මේ අවස්ථාවෙ කිසියම් පාලනයක් කරන්න අවශ්‍යයි. පොසොන් පෙරහැර පැවැත්වීමත් ජනතාව ඒකරාශි නොවන විදියට කරන්න සිද්ධ වෙනවා. සහභාගිකරවා ගන්න ප්‍රමාණය ඒ ඒ පන්සල්වල ඉඩ ප්‍රමාණය අනුව තීරණය කරන්න වෙනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මේ සදහා සහාය වෙයි. සෞඛ්‍ය අංශ නිකුත් කරන නිර්දේශ ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමට ජනතාව පියවර ගැනීම වැදගත් වෙනවා. මාධ්‍ය ආයතන මඟින් සජීවී ව පෝදා වැඩසටහන් විකාශනය කරන නිසා ජන සහභාගීත්වය අවම වෙයි කියලා හිතනවා. ඒ වගේම සීල ව්‍යාපාර සඳහා සම්බන්ධ කර ගන්නා පිරිස් අතරට රෝගාබාධවලින් පෙළෙන්නන් සහ වැඩිහිටි අය සම්බන්ධ කර ගැනීමෙන් වලකින්නත් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන වලින් ජනතාව දැනුම්වත් කිරීමත් අවශ්‍යයි.

මෙම අවස්ථාවට සිතුල්පව්ව රජ මහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමි, තිස්සමහාරාම රජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්යදේවාලේගම ධම්මසේනනායක හිමි, මුල්කිරිගල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙලිගල්ලේ සරණපාල නායකහිමි, මාතර පාලටුව බෞද්ධෝධය විහාරාධිපති ගැටමාන්නේ ගුණානන්ද හිමි, සුදර්ශන ධර්ම නිකේතනයේ ලේල්වල සමිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, දකුණු පළාත්ආණ්ඩුකාර විලී ගමගේ, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර, බෞද්ධ කටුයතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු සහ දකුණු පළාත් රාජ්‍යනිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න