අමෙරිකාවේ බාධාවන්ට බයේ වෙනිසියුලාවට එන තෙල් නැව්වලටත් සන්නද්ධ ආරක්ෂාව | දිනමිණ


 

අමෙරිකාවේ බාධාවන්ට බයේ වෙනිසියුලාවට එන තෙල් නැව්වලටත් සන්නද්ධ ආරක්ෂාව

තම රටට අත්‍යාවශ්‍යව පවතින ඉන්ධන තොගයක් රැගෙන ඉරානයේ සිට පැමිණෙමින් තිබෙන තෙල් නැව් පෙළකට අමෙරිකාවෙන් බාධා ඇති වෙතැයි යන සැකය මත සන්නද්ධ ආරක්ෂාව සැපයීමට වෙනිසියුලා හමුදාව පියවර ගෙන ඇත.

තෙල් නැව් පහකින් සමන්විත මෙම ඇණිය දැනට ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් පවතින අතර ඉදිරි දින කිහිපය ඇතුළත එය වෙනිසියුලාවට පැමිණීමට නියමිතය. තම රටේ වෙරලේ සිට නාවුක සැතපුම් 200ක් ඇතුළත පිහිටි රටට අයත් සමුද්‍ර ප්‍රදේශයට තෙල් නැව් ඇණිය පිළිගන්නා බව එරට ආරක්ෂක ඇමැතිවරයා කියා සිටියේය. ඉරානයට සහ වෙනිසියුලාවට එරෙහිව සම්බාධක පනවා ඇති අමෙරිකාව මේ නැව් ගමන නතර කිරීමට කටයුතු සලකා බලමින් ඇතැයි ද වාර්තා වේ.

අමෙරිකාවේ සහාය ලබන විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ මේ ගැන අදහස් පළ කරමින් කියා සිටියේ පෙට්‍රල් ආනයනය කිරීමට ජනාධිපති මදුරෝ කටයුතු කරන්නේ තම රටේ තෙල් සම්පත කළමනාකරණය කිරීමට ඔහු අසමත් වී සිටින නිසා බවයි.කෙසේ වෙතත් වෙනිසියුලාවට ලොව විශාලතම තෙල් නිධි සතු රටක් වන අතර දශක දෙකකට ආසන්න කාලයක් රටේ පැවැති අධික උද්ධමනය නිසා තෙල් නිෂ්පාදනය නිසි ආකාරයෙන් සිදු නොවීය.

 

නව අදහස දක්වන්න