ජනතාවට පරමාධිපත්‍ය උරුම කළ 1972 ජනරජ ව්‍යවස්ථා විප්ලවයේ මතක | දිනමිණ


 

ජනතාවට පරමාධිපත්‍ය උරුම කළ 1972 ජනරජ ව්‍යවස්ථා විප්ලවයේ මතක

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ප්‍රකාශ කෙරෙන මේ මොහොතේ පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා රැස්වූ ප්‍රථම අවස්ථාව ලෙස 1970 ජූලි 19 වෙනිදා ඉතිහාසයට එක්වී අවසානය. එදා රාජකීය විද්‍යාලයේ නව රගහලට රැස්වූ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් 1947 බ්‍රිතාන්‍ය විසින් අපට දායාද කළ ඩොමිනියන් තත්ත්වයේ නිදහස ලෙස සෝල්බරි ව්‍යවස්ථාව මගින් ලබා දී තිබුනේ පූර්ණ නිදහසක් නොවන බවට ඇතිබූ එකඟත්වය නිසාම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස රැස්වී නව ගමනකට මුල පිරීය. ව්‍යවස්ථාව වෙනස් කිරීමට පවා බ්‍රිතාන්‍ය රැජිනගේ අනුමැතිය අවශ්‍ය බවට මතයක් පලවී තිබූ වකවානුවක නීතීමය තත්ත්වය එය බවට ඇතැම් නීතී විශාරදයන් පවා ප්‍රකාශකර තිබිය දී විප්ලවයකින් බිහිවූ රජයක් නොවන ආණ්ඩුවක් නිසා ඒ සම්බන්ධයෙන් ඉතා ක්‍රමානුකූලව පියවර ගැන්මට එදා සමගි පෙරමුණු ආණ්ඩුවට සිදුවිය.

1970 මැයි 27 දින ශ්‍රී.නි.පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය තුලින් සැදුම්ලත් සමගි පෙරමුණු ආණ්ඩුව ඉහත තත්ත්වය අවබෝධ අවබෝධ කරගත් නිසාම තම මැතිවරණ ප්‍රකාශනයට පහත සදහන් වගන්තිය ඇතුලත් කර තිබුණි.

‘‘මේ මැතිවරණයේ දී ඔබ පත්කරන මන්ත්‍රීන් හට අපේ රටට නව ව්‍යවස්ථාවක් සකස් කොට සම්මත කොට ක්‍රියාත්මක කිරීමට හැකි ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙසින් ක්‍රියා කිරීමේ වරමද ඔබේ ඡුන්දයෙන් පවරන ලෙස අප ඉල්ලා සිටිමු. මේ නව ව්‍යවස්ථාව ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ප්‍රජාතන්ත්‍ර සමාජයක් වෙනුවෙන් කැපවුනු නිදහස් ස්වෛරී ස්වාධීන ජන රජයක් බව ප්‍රකාශයට පත්කරනු ඇත. සියලූම රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා නිදහස එයින් සහතික කෙරෙනු ඇත‘‘

(සමගි පෙරමුණු මැතිවරණ ප්‍රකාශනය - 5 පිටුව)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙක් වූ පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමතිධූරය දැරූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ උපදෙස් මත ඉදිරිපත් කළ ඉහත වගන්තිය රටක උත්තරීතර බලය ජනතාව සතු බව හා ජනතාවගේ තීන්දුව නීත්‍යානුකූල හා අවසාන තීන්දුව බව සනාථ කිරීමට හැකිවන ලෙස මෙලෙස මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කොට තුනෙන් දෙකක ඡුන්දයක් ලැබූ සමගි පෙරමුණ ඊළඟ පියවරට පා තැබීය. එම මැතිවරණයේ දී (කේවල ඡන්ද ක්‍රමය මත) ඒ ඒ පක්‍ෂ ලබාගත් මන්ත්‍රී ධූර සංඛ්‍යාව පහත වගුවේ දැක්වේ.

මේ අනුව මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීධූර 150 න් 115 ක් හෙවත් තුනෙන් දෙකක් ඉක්ම වූ ජයක් ලබා ගැන්මට සමගි පෙරමුණට හැකිවිය. (කටාන ආයතනයේ අපේක්‍ෂකයකු මියයාම නිසා එම කොට්ඨාශයේ මැතිවරණය ජූලි 01 දින පැවැත්වුණි)

මේ අනුව 1970 මැයි 29 දින සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දෙවෙනි වරටත් අගමැති ධූරයට පත්වූ අතර 1970 මැයි 31 වන දින අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නේය. ව්‍යවස්ථාව අනුව අගමැතිණිය විසින් මන්ත්‍රීවරු 06 පත්කළ අතර මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 157 විය.

සත් වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය 1970 ජුනි 14 වනදින අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. අග්‍රාණ්ඩුකාරවරයාගේ රාජාසන කථාවට ද නව ව්‍යවස්ථාවන් සැකසීම සඳහා වූ යෝජනාව ඉදිරිපත්කර තිබූ අතර රාජාසන කථා විවාදය අවසානයේ එය ඒකඡන්දයෙන් සම්මත විය. අනතුරුව 1970 ජූලි 11 වන දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෑම මන්ත්‍රීවරයෙක් වෙතම අගමැතිණිය සිය අත්සනින්ම “කොළඹ 1 සෙනට් චතුරස‍්‍රයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය,

1970 ජූලි 11 වන දින “යනුවෙන් සඳහන් කර ආරාධනය යවා තිබුණි.

ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය

1970 ජුනි මස 14 වන දින ලංකාවේ සත්ත්වන පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය විවෘත කරමින් ගරුතර අග්‍රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ පැවැත්වූ කථාවේ දී නියෝජිත මන්ත්‍රණ සභාවේ දී ගරු මන්ත්‍රීවරුන් අමතමින් මෙසේ ප්‍රකාශකළ බැවින්ද

‘‘ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දෙන ලද ජනතාවගේ ඡුන්දයෙන් ලංකාවේ සෑම රට වැසියෙකුගේම මුලික අයිතිවාසිකම් හා නිදහස සහතික කිරීමද ඇතුලූ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අරමුණු ඉටු කිරීමට ඇප කැපවූ නිදහස් ස්වාධීන ස්වෛරී ජන රජයක් බවට පත් කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට සම්මත කොට ක්‍රියාත්මක කෙරෙන ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් ලෙසින් ක්‍රියාකිරීමේ වරම පැහැදිලි ලෙසම ඒ ජනතාව ඔබට දී ඇත.

මේ ජනතා වරම අනුව මේ රටේ මූලික නීතීය බවට පත්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට සම්මත කිරීමට මගේ ආණ්ඩුව ඔබට ඇරයුම් කරයි. මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ශ්‍රි ලංකා වාසී ජනතාවගේ කිසිම සහභාගීත්වයක් නොමැතිව කෙටුම්පත් කරන ලද දැනට පවතින ආණ්ඩුක්‍රම පණතත් ඔබ විසින් සම්මත කරනු ලබන යටකී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන සෙසු ව්‍යවස්ථාවන් යන දෙකොටසම ඉක්මවා සිටිනු ඇත.

තවද 1970 ජුනි මස 24 වන දින නියෝජිත මන්ත්‍රණ සහාවේ බෙදීමක් නොමැතිව සම්මත වුණ පහත සඳහන් යෝජනාව නියෝජිත මන්ත්‍රණ සභාව විසින් එදිනට අග්‍රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ වෙත මෛස් ඔප්පුකර සිටි බැවින්ද

අතිගරු උතුමානනි, පාර්ලිමේන්තුව විවෘත කිරීමේ දී ඔබතුමානන් විසින් පවත්වන්නට යෙදුව කථාව වෙනුවෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් වන ඔබතුමානන්ට ස්තුතිය කරමු. අප වෙත ඉදිරි පත්කරනු ලබන සියලූම කරුණුවලට අපගේ අවධානය යොමුකරන බව අපි ඔබතුමාට ස්ථිර ලෙස ප්‍රකාශ කරමු.

එම නිසා අග්‍රාමාත්‍ය ධූරන්ධීර සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක වන මම පහත සදහන් යෝජනාව සලකා බලා සම්මත කරනු ස`දහා ජූලි මස 19 වන දින පෙරවරු 11 ට කොළඹ රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ නව රගහලේ දී පවත්වනු ලබන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකට පැමිණෙන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී .................................................... වන ඔබ මෙයින් කැදවමි.

සිරිමා ආර්.ඩී.බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය

මේ අනුව කොළඹ රාජකීය නව රඟහලට කැඳවූ මන්ත්‍රීවරුන් අමතා අගමැතිණිය ප්‍රකාශ කලේ ‘‘ශ්‍රී ලංකා ද්වීපයේ මහජනයා නියෝජනය කරන පිරිසක් වශයෙන් මෙම රැස්වීමට මහජන නියෝජිතයන් රැස්වන බවයි. එමෙන්ම මෙය නියෝජිත මන්ත්‍රී මණ්ඩල රැස්වීමක් නොවන බවත් ප්‍රකාශ කළා ය. එමෙන්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් අප වෙත ලබා දී ඇති ව්‍යවස්ථාව යටතේ මේ සඳහා අවශ්‍ය බලය අප විසින් අපේක්‍ෂා නොකරන බවත් සතුටින් දැනුම් දී සිටියාය.

ඉහත කී යෝජනාව මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මහතා අනුමත කරමින් කථා කළේය. ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ මහ ජනතාවගෙන් ලැබුණු බලය මත ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය විසින් පිලිගත් ආණ්ඩුක්‍රමයකින් ලංකාව නිදහස් රාජ්‍යයන් බවට පත්කරන බවය. එදා ආරම්භක රැස්වීමෙන් පසු වසර දෙකක කාලයක් මුළුල්ලේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වරින්වර රැස් වී තම භාරධූර කර්තව්‍යයේ නිරත විය.

මෙහි දී දෙමළ දේශපාලන පක්‍ෂ සිය දේශපාලන යෝජනා ඉදිරිපත් කලද ඒවා ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් නොසලකා හරින ලදැයි පවසා ව්‍යවස්ථාදායක මණ්ඩලය වර්ජනය කොට එම පක්‍ෂ ඉන් ඉවත්විය. දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අඩංගු කර ගැන්මට තමන් තුල වූ අවශ්‍යතාව මග හැරී ගිය බැවින් ද්‍රවිඩ ජනතාව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මගින් එළි දක්වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැලකුවේ තමන්මත බලහත්කාරයෙන් පටවනු ලබන ව්‍යවස්ථාවක් වශයෙනි. මේ හේතුව නිසාම 1972 මැයි මාසයේ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක එස්.ජේ.ඞී.චෙල්වනායගම් මහතා තමා නියෝජනය කළ කන්කසන්තුරේ ආසනයෙන් ඉල්ලා අස්වූයේ සම්මත කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය ප්‍රකාශ කිරීමක් වශයෙනි.

එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයට වෙස්ට් මිනිස්ටර් ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයක් යෝජනා කරනු ලැබුවද එයද ප්‍රතික්ෂේප කරන ලදී. පුරා වසර දෙකක් තිස්සේ ගත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් ලෙස පරිච්ඡේද 16 කින් හා වගන්ති 134 කින් සමන්විත ශ්‍රි ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 මැයි 22 දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වූ අතර එදින සිට ශ්‍රී ලංකාව ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට ප්‍රකාශකරනු ලැබීය.

සෝල්බරි ව්‍යවස්ථාව යටතේ මෙතෙක් ක්‍රියාවට නැගුණු සාම්ප්‍රදායික පිළිවෙත් කීපයක් මේ මගින් වෙනසකට භාජය වූ අතර ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බව ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලදී. අග්‍රාණ්ඩුකාරවරයා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ උත්තරීතර මන්ත්‍රී මණ්ඩලය අහෝසි වී ඒවාට අයත් බලතල ජාතික රාජ්‍ය සභාවට පවරනු ලැබීය. අග්‍රාණ්ඩුකාර ධූරය වෙනුවට ජනාධිපති ධූරය ස්ථාපිත කරන ලදී.

පණතක් නීතීගත වීමට පාර්ලිමේන්තුවෙන් සමම්තර කර උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන්ද සම්මත කර රැජිනගේ නියෝජිතයා ලෙස අග්‍රාණ්ඩුකාරවරයාගේද අත්සන තිබිය යුතු බවට වූ තත්ත්වය අහෝසිකර ජාතික රාජ්‍ය සභාවෙන් සම්මත වන පණත් කෙටුම්පතක් කථානායකවරයාගේ සහතිකයෙන් නීතීයක් බවට පත්වන ලෙසට පූර්ණ ව්‍යවස්ථාදායක බලතල ජාතික රාජ්‍ය සභාවට පවරනු ලැබීය.

මෙලෙස සම්මතකරගත් 1972 ජනරජ ව්‍යවස්ථාව තුලින් එය සම්මත කරගත් වර්ෂයේ සිට වසර 05 තවදුරටත් පවතින රජයට බලයේ සිටීමටද විධි විධාන සලසා ගැනීම කිසියම් දුරට මහජන විරෝධනයට හේතුවිය. නමුත් පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කර ලංකාවේ පළමු වරට ව්‍යවස්ථාවන් සැකසීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග වර්තමානයේ ව්‍යවස්ථාවක් තැනීම සඳහා ඒ ආකාරයෙන්ම ගැනීම අවශ්‍ය නොවන්නේ බ්‍රිතාන්‍ය හා බැදුනු සියලූ බැදීම් එදා ජනරජ ව්‍යවස්ථාව තුලින් අහෝසිකර ඇති බැවිනි.

බණ්ඩාරගම
සමරසේන මුදලිගේ

නව අදහස දක්වන්න