පහුගිය ආණ්ඩුව ඉදිකිරීම් නැති කළා | දිනමිණ


 

පහුගිය ආණ්ඩුව ඉදිකිරීම් නැති කළා

මාර්ග සහ අධිවේගී මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර් ප්‍රේමසිරි

රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අඩාල වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල නවතම තත්ත්වය, දේශීය කොන්ත්‍රාත්කරුවන් ආයෝජකයන් හා සැපයුම්කරුවන්ට පළමුතැන ලබාදීමේ සැබෑ තත්ත්වය, මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල එල්ල වී ඇති චෝදනා සහ අභියෝග වැනි කරුණු සම්බන්ධයෙන් මාර්ග හා අධිවේගී මාර්ග අමාත්‍යාංශයේ ලේකම්, ආර්. ප්‍රේමසිරි මහතා දිනමිණට දැක්වූ අදහස් මෙසේ ය.

කොරෝනා අර්බුදය හේතුවෙන් අතරමඟ නැවතුණු මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේ වත්මන් තත්ත්වය කුමක්ද?

කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් නතර වී තිබූ මාර්ග සංවර්ධන කටයුතු අප්‍රේල් 22 වැනි දා සිට නැවත ආරම්භ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සහ අප අමාත්‍යාංශය සකස් කරගත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව මේ වන විට අපි එම වැඩකටයුතු සාර්ථකව කරගෙන යනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කිලෝමීටර් ලක්ෂයේ වැඩපිළිවෙළ ඒ අතරින් ප්‍රමුඛ වැඩසටහනක්. ඊට අමතරව සෑම මාර්ග ව්‍යාපෘතියකම වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.

රටේ බොහෝ ක්ෂේත්‍ර මෙන්ම මාර්ග සංවර්ධනය ඇනහිටීමෙන් ආර්ථිකයට ප්‍රබල පහරක් එල්ල වුණා නේද?

මාර්ග සංවර්ධන ව්‍යාපෘති වටා ඍජුව හා වක්‍රව ජීවන තත්ත්වය නඟා සිටුවා ගත් පිරිසක් සිටිනවා. මාර්ග ආශ්‍රිතව ජීවත්වන අය, මාර්ගවල සේවය කරන අය, ද්‍රව්‍ය සපයන්නන්, කම්කරුවන් කියන ඒ සියලු දෙනාම මින් ප්‍රතිලාභ ලබනවා. ඒ බිඳ වැටුණු සියලු ආදායම් මාර්ග රට පුරාම පුළුල් කරලා පවත්වාගෙන යන්න රජය උපදෙස් දීලා තිබෙනවා. මේ නිසා දුප්පත් කම්කරුවා දක්වා මේ ක්ෂේත්‍රය තුළින් ලබන ආදායම ගලා යන නැතිනම් බෙදිලා යන ආකාරයටයි ඉදිරියේදී ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ. අපි පසුගිය අවුරුදු 5 දී ඇන හිට තිබූ ප්‍රධාන ව්‍යාපෘති පවා අපි නැවත ආරම්භ කරන්න සැළසුම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම, මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු, තෙවැනි හා සිව්වැනි කොටස් ආරම්භ කරනවා. අතුරුගිරිය පිවිසුමේ සිට නව කැලණි පාලම දක්වා කණු මතින් ඉදිවන මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කරනවා. සැපයුම්කරුවන් කොන්ත්‍රාත්කරුවන් මින් ප්‍රතිලාභ ලබන නිසා ආර්ථිකයට සවියක් වෙනවා. ඉකුත් ආණ්ඩු සමයේ සියලු වැඩ නතර වෙලා තිබුණා. ඒවා පමා වීම නිසා ජනතාවට බොහෝ දුෂ්කරතා විඳින්න සිදු වුණා. මොන විවේචන පැමිණියත් ඉදිරි වැඩකටයුතු සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කරනවා.

කොවිඩ් 19 හේතුවෙන් අධිවේගී මාර්ගවල ආදායම් තත්ත්වයට මොකද වුණේ?

දිනකට මිලියන 25 ක් 30 ක් විතර ආදායමක් තිබුණා. ඒවා මාසයක් පමණ අපිට අහිමි වුණා. එය රටේ ආර්ථිකයට විශාල පාඩුවක්. නමුත් මෙවැනි තත්ත්වයකදී එවැනි පාඩු අපිට දරාගන්න වෙනවා. දැන් ඒ තත්ත්වය වෙනස්වෙලා තිබෙන නිසා ඉදිරියේදී නැවතත් ඒ ආදායම ලබන්න හැකි වේවි.

අධිවේගී මාර්ග පෞද්ගලීකරණය කරන්න අදහසක් තිබෙනවද?

නැහැ. අධිවේගී මාර්ග පෞද්ගලීකරණය කිරීම ගැන කතා පසුගිය ආණ්ඩු සමයේ නම් තිබුණා. පෞද්ගලීකරණය කරන්න කිසිම අදහසක් හෝ අවශ්‍යතාවයක් වත්මන් රජයට නම් නැහැ.

මහනුවර හා රුවන්පුර අධිවේගී මාර්ගය කඩිනමින් ආරම්භ කරනවද?

2014 වර්ෂයේ ආරම්භ වුණු පොතුහැර සිට ගලගෙදර දක්වා විහිදුණු මහනුවර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය විශේෂ ජනතා ඉල්ලීමක්. එහි වැඩකටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කරලා ජනතා බලාපොරොත්තුව සඵල කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගයත් පසුගිය රජයට අවසන් කරන්න බැරි වුණත්, වත්මන් රජය ඒ සඳහා කටයුතු යොදාගෙන යනවා. කොළඹ නගරයට අවටින් ජනතාව පැමිණෙන නිසා විශාල වාහන තදබදයක් පවතින නිසා කොළඹ වටරවුම මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ සිට රාජගිරිය හරහා නව කැලණි පාලම දක්වා වන මාර්ගය හදන්නේ. එය විදේශීය මුදල් ආයෝජනයක් මත ආරම්භ වන නිසා අපිට මුදල් වැය වෙන්නේ නැහැ.

රටේ ව්‍යාපෘතිවලදී දේශීය කොන්ත්‍රාත්කරුවන්ට මූලිකත්වය දෙන බව රජය ප්‍රකාශ කරනවා?

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මාර්ග සංවර්ධන කටයුතු සඳහා විශේෂ තැනක් ලබා දුන්නේ දේශීය කොන්ත්‍රාත්කරුවන්ට. පසුගිය අවුරුදු පහ ඇතුළත දේශීය කොන්ත්‍රාත්කරුවන්ට තිබුණු තැන සම්පූර්ණයෙන්ම නැතිවුණා. ඉකුත් ආණ්ඩු සමයේ දී ඇතැම් මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට විනා සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට තැනක් ලැබුණේ නෑ. ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අපේ වැඩපිළිවෙළ යටතේ සිදු වනවා. විශේෂයෙන්ම මුලින් සඳහන් කළ කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන එවැනි අය නගාසිටුවීමේ ව්‍යාපෘතියක්. ඇතැම් අය චෝදනා කරනවා චීන සමාගම්වලට කොන්ත්‍රාත් දෙනවා කියලා. උදාහරණයක් ලෙස මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස කරන්නේ දේශීය කොන්ත්‍රාත්කරුවන් 15 දෙනෙක් හරහා. නමුත්, ඔවුන් උපකොන්ත්‍රාත් ලබා දීලා තිබෙන්නේ විදේශීය අයට. චීන හා තායි වැනි සමාගම්වලට. එක් පැත්තකින් දේශීය කොන්ත්‍රාත්කරුවන් මැසිවිලි නගනවා කොන්ත්‍රාත් නෑ කියලා. අපේම ඉහළ කොන්ත්‍රාත්කරුවන් උපකොන්ත්‍රාත් දීම නිසා මේ ගැටලුව ඇතිවෙලා තිබෙනවා. නමුත්, වත්මන් රජයේ බලාපොරොත්තුව සෞභාග්‍යයේ ඉදිරි දැක්මයි. ඒ යටතේ නගා සිටුවන්නේ දේශීය කොන්ත්‍රාත් හා ආයෝජකයන්. ඇතැම් ව්‍යාපෘතිවලට දේශීය ආයෝජකයන් නැති ගැටලුවකුත් මේ අතරේ තිබෙනවා. අධිවේගී, විදුලි බලාගාර, පිරිපහදු වගේ ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න විශාල මුදලකුත් ඕනෑ. විදේශීය ආයෝජකයන් ගන්නේ එවැනි අවස්ථාවල. නමුත්, මොන විදේශික ආයෝජකයන් පැමිණියත් ඒවායේ වැඩ කරන්නේ අපේ රටේ කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් හා කම්කරුවන්. පසුගියදා කැබිනට් පත්‍රිකාවක් නිකුත් වුණා විදේශීය කොන්ත්‍රාත්කරුවන් කරන කර්මාන්තවලත් 70% ක් දේශීය අය වැඩ කළ යුතුයි කියන එක. මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙනවා. නමුත්, පසුගිය අවුරුදු පහේම ඒවායේ වැඩක් කෙරුණේ නෑ.

කොවිඩ් 19 අතරේ රජය ව්‍යාපෘති කරන මුවාවෙන් මුදල් වංචා කරන බවට ඇතැම් දේශපාලඥයින් චෝදනා කරනවා?

මේකට උත්තර දෙන්න ඕනෑ පසුගිය රජය ක්‍රියාත්මක කළ අවිධිමත් වැඩපිළිවෙළ ගැන කියලා. එහි ප්‍රථම කොටස වන්නේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කඩවත සිට මීගමුව දක්වා වන ව්‍යාපෘතියයි. 2015 අවුරුද්දේ චීන සමාගමකට භාර දුන්නා. ඒ රුපියල් බිලියන 159 කට. ඒ වෙලාවේ හැටියට එය ඩොලර් මිලියන 1160 ක්. එය ප්‍රදානය කළේ මාර්ගෝපදේශයට අනුව ටෙන්ඩර් පටිපාටියට. නමුත්, ඒ මුදලින් අපිට දෙන්නේ ඩොලර් මිලියන 989 ක් පමණයි. ඉතිරියෙන් 15%ක් අපි ලංකා ආණ්ඩුවෙන් ගෙවන්න ඕනෑ. ඒ කාලයේ ඩොලර් මිලියන 24 ක් ගෙවිය යුතුව තිබුණත් අද ඩොලරයේ මිල ගණනය අනුව අපිට ඩොලර් මිලියන 32 ක් ගෙවන්න වෙලා තිබෙනවා. අපි ඒ මුදල කොන්ත්‍රාත්කරුවන්ට නොගෙව්වොත් අපිට බැංකුවෙන් අදාළ මුදල ගන්න බැහැ. වත්මන් රජය එයට මුදල් සොයාගෙන ලබන සතියේ සිට ඒ කර්මාන්තවල වැඩ ආරම්භ කරන්න පුළුවන්.

මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවැනි කොටස. 2016 දී එවකට ආණ්ඩුව දේශීය කොන්ත්‍රාත්කරුවන් 15 දෙනකුට කිලෝමීටර් 32 ක් දීලා තිබෙනවා. වැය වුණු මුදල ඩොලර් මිලියන 150 ක්. දේශීය බැංකුවලින් අරගන්න බලාපොරොත්තුවෙන් තමයි ඒ කොන්ත්‍රාත් බාර දීලා තිබෙන්නේ. නමුත් එයට මුදල් සොයාගත නොහැකි තත්ත්වයක් දැන් තිබෙනවා. චීන කොන්ත්‍රාත් ගැන ඇතැම් දේශපාලඥයින් විවේචන කළාට චීන කොන්ත්‍රාත් දුන්නාටත් වඩා වැඩි මුදලකට එනම්, දේශීය කොන්ත්‍රාත්කරුවන්ට එක කිලෝමීටරයකට බිලියනයක් වැඩි වෙන්නයි දීලා තිබෙන්නේ.

තුන්වන කොටස පොතුහැර ගලගෙදර ව්‍යාපෘතියට 2014 අවුරුද්දේදී කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කළා. පසුගිය ආණ්ඩුව එයජපන් සමාගමකට භාර දුන්නා. ඩොලර් මිලියන 900 කට දුන්නේ. නමුත්, ඒකට ණය මුදලක් ජපානයෙන් ගෙනාවා. එහි කොන්දේසි ගිය ආණ්ඩු කාලේ පිළිගත්තේ නෑ. වත්මන් රජය එය අවලංගු කරලා චීන හා දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ව්‍යාපෘතිය කරවන්න යනවා. ඉන් අවුරුදු දෙකක් යනතුරු ආණ්ඩුවට වියදමක් නැහැ. ආදායම ලැබීමෙන් පසුවයි ණය මුදල ලබා ගන්නේ .

සිව්වැනි කොටස කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60 ක ව්‍යාපෘතිය. 2014 දී දේශීය කොන්ත්‍රාත්කරුවන්ට එය භාර දුන්නා. එය පසුගිය ආණ්ඩුව අවලංගු කරලා 2016 දි නැවත චීන සමාගමකට ඩොලර් මිලියන 1000 කට භාර දුන්නා. නමුත් ඔවුන්ට සල්ලි හොයාගන්න බැරිකමක් නිසා එය කෙරුණේ නෑ. වත්මන් රජය එය අවලංගු කරලා මහා බ්‍රිතාන්‍යයෙන් ඩොලර් මිලියන 900 කට ආසන්න ණය මුදලක් ලබා ගෙන එය නැවත ආරම්භ කරන්න නියමිතව තිබෙනවා. එය මහා බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ලැබෙන විශාලම ණය මුදල . මහා බ්‍රිතාන්‍යයේ සමාගමක් හා දේශීය කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙක් යොදාගෙනයි ඒ ව්‍යාපෘතිය සැලසුම් කරන්නේ. ඒ අතුරුගිරියේ සිට කැලණියට එන පාර.කොවිඩ් 19 වසංගතය අතරතුරේ මුදල් මංකොල්ලයක් කරන්න යනවා කියන්නේ අපි ඒ කටුයුතු නැවත හරිගස්සලා කරන්න යන එකටයි.

ඉකුත් ආණ්ඩුවේ වැරදි නිවැරදි කරද්දී ලොකු පාඩුවක් සිදු වෙනවා ඇති?

ඇත්තටම අපි මේ වැඩි වශයෙන් කරන්නේ පසුගිය ආණ්ඩුව අතහැර දැමූ වැඩ නැවත ආරම්භ කරලා මාර්ග සංවර්ධනය කිරීමයි. ඒ කාලයේ වුණු නාස්තිය අවම කරන්නයි අපි ප්‍රධාන වශයෙන් සැළසුම් කරන්නේ.මේ වැඩසටහන් ආරම්භ කළොත් ආර්ථිකය සෑහෙන ඉහළට ගන්න පුළුවන්. ඒ අතරේ රුවන්පුර අධිවේගී මාර්ගය පසුගිය ආණ්ඩුවේදී චීන සමාගම් හතරකට දෙන්න තීරණය කරලා තිබෙනවා. ඒවා සාකච්ඡා මාර්ගයෙන් නතර වෙලා තිබෙනවා. ඒ සාකච්ඡා නැවත ආරම්භ කරන්න අපේක්ෂා කරනවා. ඉතිං ඔවුන් අවුල් කර දැමූ වැඩ කොටස නැවත සකස් කරද්දී චෝදනා කිරීම නිවැරදි නැහැ.උදාහරණයක් තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කඩවත සිට මීගමුව දක්වා ව්‍යාපෘතියේ ඒ කාලයේ හැටියට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 24 මුදල අද ඩොලරයේ මිල ගණනය අනුව ඩොලර් මිලියන 32 ක් වෙලා තිබෙනවා. ඉතින් ඒ පාඩුව රජයට දරාගන්න වෙනවා. ඒ වැඩ හරියට කෙරෙයි කියන බයට තමයි ඔය චෝදනා කරන්නේ.

චින්තා රණසිංහ

නව අදහස දක්වන්න