මෝදි - ‍ගෝඨා සුහද කතා! | දිනමිණ


 

මෝදි - ‍ගෝඨා සුහද කතා!

හෘදයාංගම වචනයකින් කිව‍හොත් ඉන්දියාව ශ්‍රී ලංකා‍වේ ‍ලොකු අයියා වන්නේය.‍ දෙර‍ටේ භූ-‍දේශපාලනික සබඳතා, ආර්ථික හා සංස්කෘතික සබඳතා විශ්‍ලේෂණය කරන ‍කෙ‍නෙකුට ඉහත ඥාතිත්වය ‍හොඳින් වටහාගත හැකි ය. දකුණු ආසියා‍වේ නායකයා හැටියට ද, ‍ලෝක‍යේ දැවැන්ත ආර්ථිකයක් සහිත බලවතකු හැටියටද ක්‍රියාකරන ‍ලොකු අයියා ‍කෙ‍රෙහි අප තුළ යම් ‍ගෞරවයක් ද පැවැතිය යුතුය. ශ්‍රී ලංකා‍වේ ඇතැම් නායකයන් ‍මෙය වටහාගත් අතර ඇතැම් නායකයන් වටහා ගත්තේ නැත. සිරිමා‍වෝ මැතිණිය‍ගේ සම‍යේ ඉතා ‍හොඳ මට්ටමක පැවැති ඉන්දු-ලංකා සබඳතා ‍ජේ. ආර්. පාලන සම‍යේ නරක ‍ලෙස බිඳ වැටිණි. යළිත් එම සබඳතා තහවුරු වූ‍යේ 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වී‍මෙන් පසු ය.

ආසියානු ‍දේශපාලන‍යේ දී අපට වැදගත් වන ප්‍රධාන රටවල් හතරක් ති‍බේ. ඒ චීනය, ඉන්දියාව, පාකිස්ථානය හා ජපානයයි. බටහිර ගැති ලිබරල් ආණ්ඩු බලයට පත්වන සෑම අවස්ථාවක ම අ‍මෙරිකාව ප්‍රමුඛ යු‍රෝපයට වැඩි නැඹුරුතාවක් දක්වන අතර වමට බර ආණ්ඩු බලයට පත් වූ කල චීනය, ඉන්දියාව ප්‍රමුඛ ආසියානු රටවල් ‍කෙ‍රෙහි වැඩි නැඹුරුතාවක් දක්වයි. ඉන්දියාව ‍මේ අතර ප්‍රධාන ‍වෙයි. අසල්වැසි ඉන්දියාව අප‍ගේ සියලු ක්‍ෂේත්‍රයන් ‍කෙරෙහි බලපෑම් ඇති කළ හැකි තැනක සිටී. ඉන්දියාව සමඟ මිත්‍රශීලි ‍ලෙස කටයුතු කිරීම යනු ඉන්දියාවට යටත් වීමක් ‍නො‍වේ. ඉන්දියා‍වේ තවත් ප්‍රාන්තයක් බවට පත්වීමක් ද ‍නො‍වේ.

‍ගෝඨාභය රාජපක්ෂ පාලන සමය ආරම්භ වන‍්නේ ‍දෙර‍ටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්ය. න‍රේන්ද්‍ර ‍මෝදි මහතා කිහිප වරක් ම ශ්‍රී ලංකා නායකයා අගය කර ඇති අතර ඉන්දියාවට ශ්‍රී ලංකාව තරම් ‍හොඳ මිතුරකු ‍ලොව කිසිඳු තැ‍නෙක නැතැ‘යි කියා ති‍බේ. ඉන්දීය නායකයා ‍මෙන් ම ශ්‍රී ලංකා නායකයා ද ‍දේශපාලන ගති-ලක්ෂණ අතින් සමාන නායකයන් යැයි කිව හැකි ය. ‍දෙ‍දෙනා ම ‍හොඳ වැටහීමක් සහිත නායක‍යෝ ය. ඔව්හු ‍දේශියත්වය ‍කෙ‍රෙහි වැඩි නැඹුරුවක් දක්වති. වි‍දේශීය බලපෑම් හමු‍වේ සෘජුව ක්‍රියාකරති. නිවැරැදි තීන්දු-තීරණ ගැනීමටත් ඒවා අනලස්ව ක්‍රියාවට නැංවීමටත් ‍දෙ‍දෙනාම පසුබට ‍නො‍වෙති. ‍මෙය සමීප රටවල් ‍දෙකක් අතර පවතින මනා ‍දේශපාලන සං‍යෝගයකි.

ඉන්දීය අගමැති හා ශ්‍රී ලංකා ජනාධිපති අතර දුරකථන සංවාදයක් පසුගියදා පැවැත්විණි. සංවාදයට විෂය වූ‍යේ වසංගතය හා ආර්ථිකය යන්න ය. ‍මෝදි මහතා ‍මෙහිදී ‍පෙන්වා දී ඇත්තේ ‍ගෝඨාභය රාජපක්ෂ මහතා වසංගතයට මුහුණ ‍දෙන ආකාරය හා ආර්ථිකය පවත්වා‍ගෙන යන ආකාරය ආදර්ශවත් බව ය. ජනාධිපතිවරයා‍ගේ නායකත්වය යට‍තේ ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් ‍කො‍රෝනා අර්බුදය ජය ගනු ඇති බවද ‍මෝදි මහතා ‍පෙන්වා දී ති‍බේ. ශ්‍රී ලංකාව සමඟ පවතින ආර්ථික ගනු‍දෙනු තවදුරටත් පුළුල් කරන බවත් ඉදිරි‍යේ දී ශ්‍රී ලංකාව වාසි සහගත ආර්ථික ගිවිසුම් කිහිපයක් අස්සන් කිරීම සැලසුම් කර ඇති බවත් ‍මෝදි මහතා කියා ති‍බේ.

ඉන්දියා‍වේ ප්‍රකට මාධ්‍යවේදියකු වන නිතින් ඒ. ‍ගෝක‍ලේ මහතා මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදය පරාජය කළ ආකාරය පිළිබඳ ‍පොතක් ලියා ති‍බේ. ‍පො‍තේ නම ‘ශ්‍රී ලංකා ‍ෆ්‍රොම් ‍වෝ ටු පීස් ‘ යන්නය. ‍මේ කෘතිය මැනැවින් පැහැදිලි කර ‍දෙන්නේ මහින්ද මහතා ඉන්දීය නායකයන‍ගේ සහ‍යෝගය ද ලබමින් ‍කොටි ත්‍රස්තවාදය පරාජය කළ ආකාරය යි. මහින්ද මහතා බලයට පත් වී මාසයක් ගතවීමටත්‍ ‍පෙර ඉන්දීය නායකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ති‍බේ. ඉන්දීය නායකයන් යුද්ධයට සහ‍යෝගය දක්වා ඇත්‍තේ දීර්ඝ හා ගැඹුරු සාකච්ඡා මාලාවකින් පසුවය. එදා ශ්‍රී ලංකා‍වේ ‍දේශපාලන විචාරකයන් ‍මේ තත්ත්වය හැඳින්වූ‍යේ ඉන්දියාව කළමනාකරණය කරගැනීම යනු‍වෙන් ය.

ත්‍රස්තවාදය පරාජය ‍කොට සාමය උදාකිරී‍මේ දී ‍මෙන්ම වසංගතය පරාජය ‍කොට ර‍ටේ ආර්ථිකය ‍ගොඩනැංවී‍මේ දී ද ඉන්දියා‍වේ සහ‍යෝගය අපට අත්‍යවශ්‍ය ‍වෙයි. ඉහත දුරකතන සංවාද‍යේ දී අදහස් දැක් වූ ‍ගෝඨාභය මහතා ඉන්දියාව වසංගත ව්‍යාප්තිය හමු‍වේ දිළිඳු ජනයාට ලබා‍දෙන සහනාධාර වැඩපිළි‍වෙළ අගය ක‍ළේය. ඉදිරිකාලය තුළ ශ්‍රී ලංකා‍වේ නැඟී සිටීමට ඉන්දියා‍වේ සහ‍යෝගය අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කර ති‍බේ. ඉන්දියාව ‍ටොන් දහයක බරින් යුතු ‍වෛද්‍ය ආධාර ‍තොගයක් ද ලබා දී තිබිණි. එය ‍බෙ‍හෙවින් ප්‍රයෝජනවත් වූ බව‍ ගෝඨාභය මහතා කියා ති‍බේ. ‍මෙය වැදගත් සාකච්ඡාවක් වන්‍‍නේ ‍දෙර‍ටේ ‍දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට එය ‍හේතුවක් වන බැවින් ය.

ඉදිරියට එළැ‍ඹෙන කාලය ‍බො‍හෝ ‍සෙයින් ම අභි‍යෝගාත්මක බව පු‍රෝකථනය වී ති‍බේ. ‍ලෝක ‍සෞඛ්‍ය සංවිධානය පවා ‍පෙන්වා ‍දෙන්‍‍නේ ‍කොවිඩ්-19 ‍වෛරසය සමඟ ජීවත් ‍වෙමින් ආර්ථික කටයුතුවල නිරත වීමට සමාජයට සිදුවන බව ය. ආයතන එකසිය ගණනක් ‍වෛරසය පිළිබඳ පර්යේෂණවල නිරත නමුදු සාර්ථක එන්නතක් ‍හෝ ඖෂධයක් ‍හෝ තවම ‍සොයා‍ගෙන නැත. සියල්ල පවතින්නේ පර්යේෂණ මට්ට‍මේ ය. ‍කො‍රෝනා වසංගතය මුළුමනින්ම පරාජයට පත් කිරීම සඳහා තවත් වසර එක හමාරක් පමණ ගත විය හැකි යැයි මතයක් ද පවතී. කුමක් වුව ආර්ථිකය අතහැර ගිය‍හොත්; මිනිසාට පැවැත්මක් නැත. ඒ අනුව ආර්ථික සටන ජයගැනීම ‍ලෝක‍යේ ප්‍රධාන අභි‍යෝගය වනු ඇත.

‍මේ අර්බූදකාරි අවස්ථා‍වේ ශ්‍රී ලංකාව වැනි රටකට අන්තර්ජාතික සහ‍යෝගීතාව යනු අත්‍යවශ්‍ය සාධක‍යෙකි. අන්තර්ජාතික ආයතන, බලවත් රටවල්, කලාපීය රටවල් ‍සේ ම අසල්වැසි රටවල් ‍කෙ‍රෙහිද මිත්‍රත්ව‍යේ දෑත දිගුකරන්නට අප වගබලාගත යුතුව ති‍බේ. ආයතනවල ප්‍රධානීන් සමඟ ‍සේම රට-රටවල නායකයන් සමඟ ද සබඳතා ‍ගොඩනඟාගැනීම අතිශය වැදගත් ය. මන්දයත්; බරපතල තීන්දු-තීරණ සඳහා එම සබඳතාවල බලපෑමක් ඇති නිසා ය. චීනය,ජපානය, පාකිස්ථානය, මැද ‍පෙරදිග රටවල් ‍සේ ම අ‍මෙරිකාව, එංගලන්තය වැනි රටවල් දඅපට අමතක කළහැකි ‍නො ‍වේ. එ‍හෙත් ඒ සියල්ලට වඩා ඉන්දියාව අපට වැදගත් වන බව සටහන් කර තැබිය යුතුය.

නව අදහස දක්වන්න