ලක්ෂ 150ක කොරෝනා මර්දන උපකරණ තොගයක් ක්‍රීඩා අමාත්‍යාංශයට පිරිනමයි | දිනමිණ


 

ලක්ෂ 150ක කොරෝනා මර්දන උපකරණ තොගයක් ක්‍රීඩා අමාත්‍යාංශයට පිරිනමයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් මිලියන 15ක් වටිනා පී. සී. ආර් පරීක්ෂණ කට්ටල, එන්. 95 යන්ත්‍ර ඇතුලු කොරෝනා වසංගතය මර්දනය කිරීම උදෙසා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් අද ක්‍රීඩා අමාත්‍යාංශයට පරිත්‍යාග කරයි. ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා වෛද්‍ය ඒකකයේදී මෙම පරිත්‍යාගයන් පස්වරු 12.30ට ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා අතින් පිරිනැමීමට නියමිතය.

අනතුරුව මෙම වෛද්‍ය උපකරණ තොගය ජාතික රෝහල වෙත ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පරිතයාග කිරීමට බලාපොරොත්තුවන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවැසීය. ජාතික රෝහලේදී සියලු ක්‍රීඩා සංගම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පරීක්ෂණවලට ප්‍රමුඛතාව ලැබෙන පරිදි මෙම වෛද්‍ය උපකරණ තොගය පරිහරණය කිරීමට එකගතාව පළකොට ඇතැයිද ඒමහතා සදහන් කළේය. ක්‍රීඩා සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍ය සාම්පල් ලබාගෙන ජාතික රෝහලේදී පරීක්ෂා කිරීමටත්, ජාතික සංචිත පවත්වාගෙන යන ස්ථානවලට පැමිණ අවශ්‍ය පරීක්ෂණ කිරීමත් මෙම වෛද්‍ය උපකරණ තොගය උපකාරී වේ.

කොරෝනා වෛරස උවදුරෙන් පසු යලිත් ජාතික ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා සංචිත නිසි ලෙස පවත්වාගෙන යෑම සදහා ක්‍රීඩා අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු යොදමින් සිටින අතර ලබන මස 1වැනිදා සිට ක්‍රීඩා කිහිපයක පුහුණු කටයුතු ආරම්භ වේ.

ඒ සදහා දැනටමත් ක්‍රීඩා සංගම් වෙත ලිඛිත අවසරය ලැබී ඇති අතර අවශ්‍ය සෞඛ්‍ය කොන්දේසි කිහිපයක් ද ඉදිරිපත් කොට තිබේ.

ජාතික ක්‍රීඩා සංචිත පවත්වාගෙන යෑමේදී අනුගමනය කළ යුතු කොන්දේසි මෙසේය.

* නිරෝධායන නීති රීතිවලට අනුකූලව හා ක්‍රීඩා වෛද්‍ය ආයතනය මගින් පනවනු ලබන සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව ක්‍රීඩා සංචිත පවත්වාගෙන යෑමට කටයුතු කිරීම.

* සංචිතගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුව සඳහා අදාල මධ්‍යස්ථානවලට හැර නේවාසිකාගාරවලින් බැහැරට නොයෑම. අවශ්‍ය කරුණක් සඳහා බැහැරවීම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ හෝ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයෙකුගේ අවසරය ලබා ගැනීම.

* දෙමාපියන්, නෑදෑ හිත මිතුරන් හෝ බාහිර පුද්ගලයන් හමුවීමට නොහැකි අතර ඉතා අත්‍යවශ්‍ය කරුණක් සඳහා නම් ඉහත පරිදි නිසි අවසර ලබා ගැනීම.

* නේවාසික සංචිත ගතකිරීමේ කාලය තුළ ආහාරපාන, නවාතැන් හා වෛද්‍ය පහසුකම් සපයනු ලබන අතර වෙනත් උපකරණ හෝ ද්‍රව්‍යයක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් ඇත්නම් දැනුම්දීමෙන් පසු ඒ සඳහා නිලධාරියකු යෙදවීමට කටයුතු කරනු ඇත.

* ක්‍රීඩා අමාත්‍යංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනය සහ ජාතික සම්මේලන විසින් පනවනු ලබන අනෙකුත් නීති රීතිවලට අනුකූලව කටයුතු කළ යුතුය.

* සංචිතයට සම්බන්ධ පුහුණුකරුවන් හා පුහුණුවට සම්බන්ධ වෙනත් නිලධාරීන් ද ඉහත සඳහන් නීති රීති හා කොන්දේසිවලට අනුකූලව කටයුතු කළ යුතුය.

* වෙනත් අදාල නීති රීති කොන්දේසි හා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ උපදෙස් සංචිත ආරම්භ කිරීමට පෙර ලබාදෙනු ඇත.

* ජාතික සම්මේලනය මගින් අදාල සංචිතයේ කළමනාකාරිත්වය සඳහා වගකිවයුතු නිලධාරියකු හෝ පුහුණුකරුවකු පත්කිරීම හා ඔහු සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ නේවාසිකව සිටීම කළ යුතුය. ක්‍රීඩකයන් පිළිබඳව අධීක්‍ෂණය හා පාලනය ඔහු මගින් සිදු කළ යුතුවේ.

නව අදහස දක්වන්න