තිරප්පනේ පොලිසියට ගල්මුගුරුවලින් ගහලා | දිනමිණ


 

තිරප්පනේ පොලිසියට ගල්මුගුරුවලින් ගහලා

උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ උපදෙස් මත දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් තිරප්පනය පොලිස් වසමට අයත් සෙලෙස්ති මඩුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ස්ථානයක් පසුගියදා(22)රාත්‍රී වැටලීමේදී පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් තිරප්පනය පොලිස් වසමෙන් වාර්තා වේ.

නිවසක් ආසන්නයේ ඉතා සූක්ෂ්මව පුද්ගලයකුට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේදී අලෙවි කළ පුද්ගලයා හා මත්ද්‍රව්‍ය ලබාගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන්ගේ කෑ ගැසීම ඇසී ප්‍රධාන සැකකරු හා තවත් අසල්වාසී පුද්ගලයන් කිහිපදෙනකු කඩු, මන්නා පිහි, උදලු රැගෙනවිත් පොලිස් නිලධාරීන්ට පහරදීමට පැමිණ ඇති අතර මන්නා පිහිය රැගෙන ආ පුද්ගලයාද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී පොලිස් නිලධාරීන්ට ගල් ප්‍රහාරද එල්ල කරන අතරතුර අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් තිදෙ‍නකු මාංචුද සමඟ පලාගොස් ඇත. පසුව මේ සම්බන්ධව තිරප්පනය පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා නිලධාරීන් දෙදෙනකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගේ සොහොයුරකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව පහරකෑමට ලක්වූ දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හා කාන්තාව පෙරේදා(23) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන මස තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර කාන්තාව ඇප මත මුදා හැර ඇත. තිරප්පනය පොලිස් ස්ථානාධිපති ආර්. එම්. අයි. බී. රත්නායක මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න