නැගිටිමු - ශ්‍රී ලංකා! | දිනමිණ


 

නැගිටිමු - ශ්‍රී ලංකා!

මේ මොහොතේ අප ඉදිරියෙහි ඇත්තේ එකම එක විසැඳුමක් පමණකැ’යි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. එම විසැඳුම වන්නේ රට ගොඩනැඟීම ය. කොවිඩ්-19 වෛරසය හමුවේ ලෝක ආර්ථික කුණාටුවකට මුහුණ දෙන්නට අපිට සිදු වී ඇත. ඉදිරියේ දී එහි වේගය හා හානිය තවත් වැඩි වීම ස්ථිරය. ලෝකයේ ආර්ථික දැවැන්තයා වූ අමෙරිකාව පවා බලවත් පීඩනයකට ලක් ව සිටී. රැකියා අහිමිවීම්, ව්‍යාපාර හා කර්මාන්ත බිඳවැටීම, බැංකු හා මූල්‍ය කටයුතු පිරිහීම, ආනයන-අපනයන සීමා වීම සංචාරක කර්මාන්තය නැවතීම අර්බුදයේ පොදු ලක්ෂණ ලෙස හඳුනාගත හැකි ය.

අමෙරිකාව ප්‍රමුඛ කාර්මික රටවල් මේ වන විටත් ආර්ථිකය නැංවීම සඳහා නව උපාය මාර්ග සොයමින් සිටිති. අර්බුදයේ බලවත් ම පීඩනය විඳගන්නට සිදුවන්නේ ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවලට ය. ශ්‍රී ලංකාව ගතහොත් අපට ම අනන්‍ය වූ තවත් සුවිශේෂ ගැටලු කිහිපයකට මුහුණ දෙයි. ඉසුරු සොයා විදේශගත වීම නැවති ඇත. ඇඟලුම් කර්මාන්තය පවතින්නේ අර්බුදකය. ව්‍යාපාර බිඳවැටෙන්නට ආසන්න නැතත් දුර්වල වී ඇත. සංචාරක කර්මාන්තය මුළුමනින් ම නැවතිලා ය. ඉදිරියේ දී රැකියා අර්බුදයක් ඇති වීමට හොඳට ම ඉඩ-කඩ තිබේ. මීට මුහුණ දෙන්නේ කෙසේ ද?

අගමැතිවරයා අවධාරනය කරන ආකාරයට 1930 ලෝක ආර්ථික අවපාතයට සමාන තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් පවතී. 1929 ආරම්භ වූ ආර්ථික පිරිහීම 1939 දක්වා පැවැතිණි. කාර්මික රටවලට එය වඩාත් දැඩි ලෙස බලපෑම් ඇති කළේය. අමෙරිකාවේ පමණක් මිලියන පහළොවකට රැකියා අහිමි විය. බැංකු දහයක් වසා දැමිණි. ඉඩම් හිමි වැවිලිකරුවෝ වගා කටයුතු අත්හළහ. එක අතෙකින් රැකියා අහිමි වූ අතර තව අතෙකින් උද්ධමනය ඉහළ ගියේ ය. තත්ත්වය පාලනය කරගත් අමෙරිකාව ඉනික්බිතිව දෙවන ලෝක යුද්ධයට ද සාර්ථක ව මුහුණ දුන්නේ ය.

එදා අමෙරිකන් නායකයා වූ රූස්වේල්ට් ආර්ථික අර්බුදයට ප්‍රායෝගික විසැඳුම් සපයාගත් බුද්ධිමත් නායකයෙකි. ඔහු එක අතෙකින් බැංකු හා මූල්‍ය කටයුතුවලට අලුත් ගැම්මක් ලබා දුන්නේ ය. තව අතෙකින් ජනතාව අමතමින් ඔවුන් සංවිධානය කළේ ය. රටක පැවැත්මට නායකයන්ගේ දැක්ම හා ප්‍රතිපත්ති අතිශයින් ම වැදගත් වෙයි. ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත්කළ සාර්ථක රාජ්‍යයකි. මේ අර්බුදයේ දී ශ්‍රී ලංකාව ක්‍රියාකරන ආකාරය ආදර්ශවත් බව ජගත් සංවිධාන පවා පිළිගනී. සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන සාධකය නායකයාගේ දෘෂ්ඨියයි. ඒ අනුව පෙර සූදානමකින්කටයුතු කරන්නට අපට හැකි විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය සමඟ ජීවත්වෙමින් ම ආර්ථිකය පණගැන්වීම සිදුවිය යුතු බවය. සමස්ත ලෝක ආර්ථිකය ශිඝ්‍ර‍යෙන් බිඳ වැටුණ හොත් වසංගත ව්‍යාප්තියට වඩා බරපතළ ව්‍යසනයක් මතු විය හැකිය. ඇතැම් විට දුගී ජනතාව හාමතෙන් මිය යා හැකි ය. ආහාර අහේනිය එහි ප්‍රධාන ලක්ෂණය වෙයි. ලෝක තිරිඟු වගාව, වී වගාව,උක් වගාව, මත්ස්‍ය නිෂ්පාදනය, සත්ව ගොවිපොළ කටයුතු ශිඝ්‍රයෙන් පිරිහෙන්නට පටන්ගෙන තිබේ. ඉතාලිය වැනි රටවල ගොවිබිම් පාළුවට ගොස් ඇත්තේ ශ්‍රම හිඟය නිසා ය. එක අතෙකින් රැකියා අහිමි වන අතර තව අතෙකින් අවශ්‍ය ශ්‍රමිකයන් සපයා ගැනීමේ ගැටලුවක් පැන නැගී ඇත.

තිස් අවුරුදු යුද්ධයක් පැවැති සමයේ පවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මට්ටමක පැවැතිණි. නිදහසුනක් ගතහොත් 2006 - 2009 කාලය තුළ 6%ක වාර්ෂික ආර්ථික වෘද්ධියක් සටහන් කිරීමට අපට හැකි විය. 2014 වන විට වාර්ෂික ආර්ථික වෘද්ධිය 7.2% දක්වා ඉහළ අගයක් වාර්තා කර තිබිණි. එකල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දන්වා සිටියේ ශ්‍රී ලංකාව හා වියට්නාමය ආසියාවේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කරගන්නා රටවල් හැටියටය. 2014 සිට 2019 දක්වා කාල පරිච්ඡේදය ආර්ථිකයේ අසාර්ථක යුගයක් හැටියට හැඳින්විය හැකිය. 2019 අගභාගය වන විට අපේ ආර්ථික වර්ධන වේගය 1.2% දක්වා පහත වැටී තිබිණි.

අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට ආර්ථිකයේ කඩා වැටීමට ප්‍රධාන හේතු තුනක් බලපා තිබේ. එක; යහපාලන ආණ්ඩුව ගෙන ගිය අසාර්ථක ආර්ථික උපාය මාර්ගයන් ය. එම කාලය තුළ අපනයන ක්ෂේත්‍රය ශිඝ්‍රයෙන් පිරිහිණි. ඉදිකිරීම් ක්ෂේත්‍රය දුර්වල විය. සංචාරක කර්මාන්තය ඉලක්ක කරා ගමන් කළේ නැත. දෙක; පාස්කු ඉරිදා ප්‍රහාරයයි. ජාතික ආරක්ෂාවේ පැවැති දුර්වලතා නිසා පාස්කු ප්‍රහාරය සිදු වූ අතර එයින් සමස්ත ආර්ථික ක්‍රියාවලිය දුර්වල විය. තුන; කොරෝනා වසංගතය යි. එය ලෝක ආර්ථිකය කම්පනයට ලක් කර ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුළු කාලයකට ලොප් කර දැමී ය. වසා දැමුණු ආර්ථිකය විවෘත කිරීමට කාලය දැන් පැමිණ තිබේ.

කොරෝනා වසංගතයට මුහුණ දෙමින් ආර්ථිකය සක්‍රීය කරන්නේ කෙසේ ද? මීට හොඳ උත්තරයක් අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක කබ්රාල් මහතා ලබා දී ඇත. ඔහුට අනුව අප නව ජීවන රටාවකට හුරු විය යුතුය. නව උපාය මාර්ග ඔස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය පණගැන්විය යුතු ය. උණ ,වසූරිය, මැලේරියාව, සාර්ස් වැනි වසංගත හමුවේ ලෝකය ඇද වැටුණේ නැත. එකිනෙක රටවල්නව උපාය මාර්ග ඔස්සේ අර්බුදයට මුහුණ දුන්නේ ය. කොවිඩ්-19 වෛරසය පරාජය කිරීම සඳහා ද අපේම ක්‍රමවේදයක් සකසා ගත යුතුව තිබේ. ඒ සඳහා ජනතාව සන්නද්ධ කළ යුතුය. නායකයන්ගේ දැක්ම හා ව්‍යාපෘති මෙහිදී වැදගත් වෙයි.

ශ්‍රීලංකාව බොහෝ අර්බුදවලට හා ව්‍යසනවලට මුහුණ දී ඒවා පරාජය කළ රාජ්‍යයකි. අපේ ජනතාවට අත් දැකීම් තිබේ. විශ්වාසය තිබේ. ධෛර්යය තිබේ. අවශ්‍ය වන්නේ සාමූහිකත්වය හා ඕනෑකම ගොඩනැගීම ය. රටේ නායකයා කෙරෙහි ප්‍රබල ජනතා විශ්වාසයක් පවතී . එම විශ්වාසය ද කේන්ද්‍රකොට අලුත් සංග්‍රාමයක් ඇති කළ යුතු ය. ඒ සංග්‍රාමය රට ගොඩනැඟීම සඳහා ය.

නව අදහස දක්වන්න