ඡන්දයක් ගැන හිතන්නත් බැහැ | දිනමිණ


 

ඡන්දයක් ගැන හිතන්නත් බැහැ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී -සුනිල් හඳුන්නෙත්ති

කොරෝනා වසංගතය යම් තරමකට පාලනය වීමෙන් පසු මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීම ගැන දේශපාලන බිමේ නැවත කතාබහක් ඇතිව තිබේ. මේ ඒ ගැන පළවූ පක්ෂ විපක්ෂ මතවාදයන්ය.

* අප්‍රේල් 25 පැවැත්වීමට නියමිතව පැවැති මැතිවරණය කොරෝනා හේතුවෙන් කල්දැමීම ගැන ඔබේ අදහස?

කල්දැමීම ගැන ගැටලුවක් ඇත්තෙම නෑ. මේ වසංගත තත්ත්වයක් යටතේ මැතිවරණයක් තිබුණා නම් ඒකෙන් වෙන්නේ වසංගතය තව දුරටත් පැතිර යෑමයි. මැතිවරණයක් කියන්නේ ජනතාව එක්රැස් වන අවස්ථාවක්. ඒ වගේ ම මැතිවරණයට රජයේ නිලධාරීනුත් විශාල වශයෙන් යොදවන්න වෙනවා. මැතිවරණයට සූදානම් වීමේ ක්‍රියාවලිය තුළත් බරපතළ විදිහට රාජ්‍ය නිලධාරින් එක්රැස් ⁣වෙනවා. ඒ නිසා මේ මැතිවරණය කල් දාන්නම ඕනෙ. ඒක ඒ වෙලාවේ මැතිවරණ කොමිසම ගත්ත වැදගත් තීරණයක් දැන් ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන්නෙ මේ මැතිවරණය කල්දැමීමේ ක්‍රියාවලිය නාම යෝජනා කැඳවීමෙන් පසුව සිදු කළ නිසයි . මාර්තු 12 සිට 19 දක්වා කාලය තුළ නාම යෝජනා කැඳවනකොට ම රජය දැන සිටියා කොරෝනා වසංගතයේ තත්ත්වය පිළිබඳව.

*පවතින වාතාවරණය අනුව ජුනි 20 මැතිවරණය පැවැත්වීමට සුදුසු දිනයක්ද?

නෑ. විශේෂඥ මතයක් එක්කවත් වසංගත රෝග නිවාරණය කරන නිලධාරින්ගේ මතයක් එක්කවත් නෙවෙයි මැතිවරණ කොමිසම එදිනට කල්දාලා තියෙන්නෙ. ආණ්ඩුව උත්සාහ කළා මැයි 28 වෙනිදාට ඡන්දය පවත්වන්න. නමුත් ජුනි 20 ඡන්දය තියන්න පුළුවන්ද කියන එක ගැනත් සැකයක් තියෙනවා. ඔන්න ආණ්ඩුවට පුළුවන් වුණා නම් කිව්ව විදිහට මැයි 11 ඉස්කෝල පටන් ගන්න, එහෙනම් ජුනි 20 ඡන්දෙ තියන්න පුළුවන්. ඒත් මැයි 11 ඉස්කෝල පටන් ගන්නත් බැරි තත්ත්වයක් නම් තිබුණෙ, තාමත් ඉස්කෝල වහලා දාලා නම් තියෙන්නෙ, ඒ කියන්නෙ ඡන්දෙ තියන එක හිතන්නවත් බෑ.

* කොවිඩ්-19 යම් පමණකට පාලනය වී ඇති බවයි සෞඛ්‍ය බලධාරින් කියන්නේ. එහෙනම් මැතිවරණය තියන්න එපැයි කියන එක සාධාරණද?

මේක මේ යම් පමණකට පාලනය කරලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනෙ. වසංගතයක යම් පමණ කියන්නේ මොකක්ද ? ඒ අය යම් පමණකට පාලනය කළයි කිව්ව වෙලාවේ තමයි දිනකට ලංකාවේ වාර්තා වුණ වැඩි ම රෝගීන් ගණන වාර්තා වුණෙත්. මේ වසංගතය පාලනය වුණා කියන එක තහවුරු කරන්න පුළුවන් වෙන්න ඕනෙ. කොවිඩි -19 පාලනයක් ලංකාවේ සිද්ධ වුණා කියලා තාම තහවුරු කරන්න බෑ.

* මැතිවරණය කල්දාලා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ඕනෙයි කියන එක ගැන ඔබ මොකද කියන්නේ?

ඒක ව්‍යවස්ථා අර්බුදයක්. ඒ ව්‍යවස්ථා අර්බුදය නිර්මාණය වුණේ මැතිවරණ හදිස්සියට නාම යෝජනා කැඳවීමත් එක්ක. අනිත් පැත්තෙන් ව්‍යවස්ථාව අඛණ්ඩ ව පැවැතිය යුතුයි කියන කාරණාවෙදි ප්‍රතිපාදන තියෙනවා, පවතින පාර්ලිමේන්තුව යළි කැඳවන්න. ජනාධිපතිවරයාට පුළුවන් හදිසි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක කැඳවන්න. එහෙම කළා නම් අර්බුදය විසඳෙනවා. නමුත් පාර්ලිමේන්තුව කැඳවනවාද? නැත්ද කියන එක තීරණය කරන්නේ ජනාධිපතිවරයා.

* ජනාධිපතිතුමා කියනවා මේ අවස්ථාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්නෙ නෑ කියලා?

එතකොට ඒක ඒකාධිපති තත්ත්වයක්. තනි මතයක්. මොකද දැන් මෙතන හදිසි තත්ත්වයක් නැද්ද? මේ හදිසි තත්ත්වයෙත් සමහරු අහනවා පාර්ලිමේන්තුව කැඳවලා බෙහෙත් දෙන්නද? කියලා. එතකොට ඇමති මණ්ඩලය තියන් යන්නෙත් බෙහෙත් දෙන්නද? නෑනෙ. ඇමති මණ්ඩලය තියෙන්නෙ මොකටද? තීන්දු තීරණ ගන්න. ඒ වගේ ම තමයි පාර්ලිමේන්තුවටත් පැවරුණු කාර්යභාරයක් තියෙනවා.

මේ රටේ ව්‍යවස්ථාව අනුව විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන කුලුනු තුනක් මතයි රාජ්‍ය පවතින්නේ. විධායකගේ කාර්යභාරය, ව්‍යවස්ථාදායකය හදන නීති රීති ක්‍රියාත්මක කරන එක. ඒවා නීත්‍යනුකූලද? කියලා හොයලා බලන එක අධිකරණයේ කටයුත්තක්. එහෙනම් දැන් ව්‍යවස්ථාදායකය අවශ්‍ය වන්නේ මොකටද ? අපිට වගේ ම ලෝකෙටත් අලුතෙන් ම මුහුණ පාන්න වුණු මේ තත්ත්වය පාලනය කරන්න රටේ තියන නීති රීති, ප්‍රතිපාදන ප්‍රමාණවත්ද? රටට අවශ්‍ය කරන ප්‍රතිපාදන සම්පාදනය කරන්නවෙන්නෙපාර්ලිමේන්තුවෙන්. අද ‍රටේ ආර්ථික අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. කොරෝනා නිසා ම මතුවෙච්ච ආර්ථික අර්බුදයකුත් තියෙනවා. ඒ ආර්ථික අර්බුදයට මුදල් අච්චු ගහනවා. රටේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවෙන් සිදු වෙන්නෙ නෑ . රටට මුල්‍ය ආධාර ලැබෙනවා. ණය ලැබෙනවා. ඉදිරියෙදි තව ණය ගන්න ඕන වෙනවා. ඒවා කවුද තීරණය කරන්නෙ? ජනාධිපතිවරයා කියනවා නම් ඒවා තීරණය කරන්න මට පාර්ලිමේන්තුව ඕනෙ නෑ කියලා, ඒක ඒකාධිපති මතයක්.

*මේ අවස්ථාවේ සහනාධාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා?

දේශපාලනයේ සහනාධාර තියෙන්න බෑනෙ. සහනාධාරවල දේශපාලනය තියෙන්නත් බෑ. ඒ නිසා සහනාධාර දේශපාලනයක් කීම ම විකෘතියක්. එක්කො සහනාධාර තියෙන්න ඕනෙ. එක්කො දේශපාලනය තියෙන්න ඕනෙ.

* මෙය සැබැවින් ම ජනතාවට සහන අවශ්‍ය මොහොතක්. එවන් අවස්ථාවක රජයෙන් ලබාදෙන සහන සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධාරණද?

රජයෙන් සහන දෙන එක එකක්. ඒක දේශපාලනීකරණය කිරීම වෙන එකක්. මේ වෙලාවේ රජයෙන් සහන දෙනවයි කිව්වම රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙවානේ. රජයෙන් දෙන සහනාධාර ජනතාව අතර බෙදා දෙන්න පුළුවන් මුදල් අමාත්‍යංශයේ ලේකම්ට, ගමට සහන බෙදන්න පුළුවන් ග්‍රාම නිලධාරීන්ට, සමෘද්ධි නිලධාරීන්ට, ප්‍රාදේශීය ලේකම්ට. ඒ විදිහට මේක වෙන්න ඕනෙ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් එක්ක. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා, පොහොට්ටුවේ මන්ත්‍රීවරයා ආදී වශයෙන් දේශපාලන යාන්ත්‍රණය යොදාගත් නිසානේ ග්‍රාම නිලධාරීන්ට වැඩ වර්ජනය කරන්න පවා සිදු වුණේ. ඉල්ලා අස්වෙන්න වුණේ. කොරෝනා ආවේ පක්ෂ භේදයෙන් තොර ව නම් සහන දෙන්නත් ඕනෙ පක්ෂ භේදයෙන් තොරව. නමුත් දැන් දේශපාලන යාන්ත්‍රණයක් ඇතුළෙ සහන දෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා.

* අපිට බැරිද මැතිවරණ ප්‍රචාරණයේදි ජනතාව එක්රැස් නොවන අන්දමේ විකල්ප අවස්ථාවලට යන්න ?

එතකොට මැතිවරණයක් තියෙයි. ඒත් ඒක නිදහස් හා සාධාරණ, සමාන අවස්ථා සහිත මැතිවරණයක් වෙන්නෙ නෑ.ජනතාව මුණගැහෙන්නෙ නැත්නම්, රැස්වීම් තියන්නේ නැත්නම්, ඒ ඒ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති කියන්න බැරි නම්, මතය දක්වන්න බැරිනම් කොහොමද නිදහස් හා සාධාරණ මැතිවරණයක් තියන්නෙ? සල්ලි තියෙන කෙනා රූපවාහිනියේ දැන්වීම් පළ කරයි. සල්ලි නැති කෙනාට ඒක කරන්නත් බෑ. ඔය කියන විදිහට විකල්ප අවස්ථාවලට ගිහින් මැතිවරණයක් තියන්න පුළුවන්. ඒත් නිදහස්, සාධාරණ මැතිවරණයක් තියන්න බෑ.

*කොරෝනා අවදානමට මුහුණ පා සිටියදීම දකුණු කොරියාව මැතිවරණය පැවැත්වුවා. ඇයි අපිට බැරි?

දකුණු කොරියාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 46 000ක්. ඔවුන්ගේ ආර්ථිකය අනුව ඔවුන්ට ඒ මැතිවරණය තියන්න ඉහළම තාක්ෂණය භාවිත කරන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ ලබාදෙන්න පුළුවන්. ඒ මැතිවරණය පැවැති ආකාරය උදාහරණයට ගන්නවා නම් හැම ඡන්ද මධ්‍යස්ථානයක ම අත්සෝදන සහ විසබීජ හරණය කරන යන්ත්‍ර තිබුණා. හැම ඡන්ද පත්‍රිකාවක් ම බෙදද්දි ආරක්ෂිත වැස්මක් යොදාගෙන තිබුණා. හැම ඡන්ද දායකයෙකුට ම අත් ආවරණ සහ මුව ආවරණ දුන්නා. ඇමරිකන් ඩොලර් මිලියන 14ක් වියදම් කරලා තියෙනවා, මුව ආවරණ දෙන්න විතරක්. ලංකාවෙත් හැම දිස්ත්‍රික්කයක ම මේ ටික කරන්න පුළුවන්ද? එහෙම කරන්න ආණ්ඩුවට මුදල් තියෙනවාද? ඔය මුකුත් නැතුවත් මැතිවරණය තියන්න කෝටි 400ක් 500ක් වැය වෙනවා කියලා දැනටත් කියනවානෙ. ලංකාවේ මේ වෙලාවේ මැතිවරණය තිබ්බොත් අත් ආවරණ, මුව ආවරණ දෙයි අපේක්ෂකයන්ගේ මනාප අංක ගහලා. කොරියාවේ එහෙම කළේ නෑ.

* මැතිවරණය කඩින් කඩ පැවැත්වීමටත් යෝජනාවක් ඉදිරිපත් වුණා?

ඇයි ඉතිං එච්චරම තදියමක්? කඩින් කඩ හරි තියාගන්න මොකද්ද තියෙන වුවමනාව? අනික මැතිවරණය කඩින් කඩ තියාගත්තම කොරෝනා පැතිරෙන්නෙ නෑ කියන්න තියෙන සහතිකය මොකද්ද? ඡන්දෙ කඩින් කඩ තිබ්බත් ඡන්ද පත්‍රිකා බෙදන්න පුළුවන්ද කඩින් කඩ? මැතිවරණ නිලධාරින්ගේ, රාජ්‍ය සේවකයින්ගේ ක්‍රියාවලිය කඩින් කඩ කරන්න පුළුවන්ද? එච්චරම තදියමක් තියෙන්නෙ පාර්ලිමේන්තුවක් හදාගන්න නම්, ඒගොල්ලො ඇයි කියන්නේ පාර්ලිමේන්තුව ඕනෙ නෑ කියලා. ජනාධිපතිතුමා කිව්වනේ තියෙන පාර්ලිමේන්තුව කැඳවන්නෙ නෑ කියලා. තියෙන පාර්ලිමේන්තුව කැඳවන්නෙ නෑ කියන අයම කඩින් කඩ හරි, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය හරි ඡන්දයක් තියාගන්න උත්සාහ කරන එකේ වෙන අරමුණක් තියෙනවා කියලා තේරෙන්නෙ නැද්ද? පරස්පරතාවක් නැද්ද?

* අපිට බැරිද ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමයකට යන්න?

ඔව් ඉතිං හැම ගෙදරට ම ඉලෙක්ට්‍රොනික් මැෂින් එකක් දීලා, හැමෝටම ගෙදර ඉඳගෙන ඡන්දෙ දාන්න පුළුවන් ක්‍රමයක් ලංකාවේ හදන්න පුළුවන්නම් වරදක් නෑ.

* ඉදිරි මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ කොයි ආකාරයෙන්ද සූදානම් වෙන්නෙ?

ඊට කලින් අපි අහන්න ඕනෙ ප්‍රශ්නය තමයි මැතිවරණයක් පවත්වන්න පුළුවන්ද? කියන එක. පැවැත්වෙනවා නම් අපි කවුරුත් ඡන්දෙ ඉල්ලනවා කියන එක අමුතු දෙයක් නෙවෙයිනෙ. ඒත් පවත්වන්න පුළුවන්ද? එහෙම ඡන්දයක් පවත්වන එකේ වගකීම ගන්න ආණ්ඩුව ලෑස්තිද? මැතිවරණය පවත්වනවාට විරුද්ධ ව නෙවෙයි අපි මේ කතා කරන්නෙ. මැතිවරණය පවත්වන්න ඕනෙ. පාර්ලිමේන්තුව පත් කරගන්නත් ඕනෙ. නමුත් ඒකට සුදුසු පරිසයක් තියෙන බවට දෙන සහතිකය මොකද්ද? කවුද ඒ සහතිකය දෙන්නෙ? නාවික හමුදා කෑම්ප් එකකින් මේ තරමට කොරෝනා බෝ වෙනවා නම්, කරණවෑමියාගෙන්, මාළු වෙළෙන්දාගෙන් බෝවෙනවා නම් මැතිවරණයක් තිබ්බොත් කොච්චර බෝවෙයිද? කියලා හිතන්න තරම් මොළේ කලඳක් නැද්ද මේ මිනිස්සුන්ට? මැතිවරණය පවත්වලා, ඒ නිසා කොරෝනා වසංගතයේ පැතිරීම වැඩි වුණොත් කවුද වගකීම ගන්න ලෑස්ති පිට ඉන්නෙ?

*ගිය වතාවේ ජනතා විමුක්ති පෙරමුණට තිබුණ ඡන්ද සංඛ්‍යාවත් අඩු වුණා. මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත්වීම තුළින් සැලකිය යුතු ජයග්‍රහණයක් ලැබෙයි කියලා හිතනවාද?

ලැබෙන්නත් පුළුවන්. අඩුවෙන්නත් පුළුවන්. ඒ මොහොතේ පවතින දේශපාලනයත් එක්කනේ ඒක තීරණය වෙන්නෙ. අපට මන්ත්‍රි ධුර වැඩිවෙච්ච මැතිවරණත් තියෙනවා. අඩුවෙච්ච මැතිවරණත් තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ ඉන්නෙ නැතුව දේශපාලනය කරපු අවුරුදු 30ක් විතරත් තියෙනවා. පාර්ලිමේන්තුවේ අපේ එක මන්ත්‍රීවරයෙක්වත් නැතුවත් අපි දේශපාලනය කරලා තියෙනවා. දේශපාලනය කියන්නේ මන්ත්‍රීවරු හදාගන්න එක ම නෙවෙයි.

හුඟක් අය දේශපාලනය කරන්නේ මන්ත්‍රීකමක් ගන්න විතරයි. ඉන් එහාට රටට මොකද වෙන්නෙ කියන එක ගැන වගකීමක් නෑ. ඒකනේ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. රට ගැන හිතන මිනිසුන්ට වඩා ඉන්නෙ මැතිවරණය ගැන හිතන මිනිස්සු. අද අපිට මේ සංවාදය හැදිලා තියෙන්නෙත් කොරෝනා මර්දනය කරනවාට වඩා මැතිවරණය ගැන හිතන නිසානෙ. නැත්නම් කොරෝනා අස්සෙ මැතිවරණයක් තියනවා කියන මාතෘකාවක් එන්න ම හේතුවක් නෑනෙ. කොරියාවේ මැතිවරණය තිබ්බ එක ගැන ලොකුවට කතා කළාට ලෝකෙ රටවල් කීයක නම් කොරෝනා නිසා මැතිවරණ කල්දැම්මද ? කොරියාවේ විතරක් නෙවෙයිනෙ පහුගිය කාලයේ මැතිවරණ තියන්න නියමිත ව තිබුණෙ. රටවල් ගණනාවක මැතිවරණ කල්දාලා තියෙනවා.

සටහන - කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න