හූල්ට නිරෝධායන නීතිය ක්‍රියාත්මක විය යුතුයි | දිනමිණ


 

හූල්ට නිරෝධායන නීතිය ක්‍රියාත්මක විය යුතුයි

ධනුෂ්ක ගොඩකුඹුර

විදේශගතව සිට පැමිණි සිය දියණිය නිරෝධායනයට නොයවා මැතිවරණ කොමිසම වෙත කැඳවාගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට ද නිරෝධායන නීතිය වහාම ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

හූල් මහතාගේ ක්‍රියාකලාපය මැතිවරණ කොමිසම වසා දැමීමට පවා හේතු විය හැකිව තිබුණු බව පැවසූ පීරිස් මහතා මෙම සිද්ධිය අහම්බයක් නොව වැඩ කරන නිලධාරීන් හට බාධාවන ආකාරෙයන් සිතාමතා කරන ලද්දක් බවටත් චෝදනා කළේය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකවට සහභාගී වෙමිනි.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ දී අනිවාර්ය කොන්දේසියක් වූ නිරෝධායනය මහාචාර්ය හූල් මහතාගේ දියණිය මෙරටට පැමිණීමේ දී අනුගමනය නොකළ බව පෙන්වා දුන් පීරිස් මහතා එපමණක් නොව නිරෝධායනය නීති උල්ලංඝනය කරමින් ඇය මැතිවරණ කොමිසම වෙත කැඳවාගෙන ඒමටත් හූල් මහතා කටයුතු කළ බවත් පැවසීය.

මැතිවරණ එපා කියමින් අධිකරණය හමුවට පවා ගිය හූල් මහතාට අවශ්‍ය වූයේ මැතිවරණ කොමිසම ම රෝගී කිරීමට බවත් මැතිවරණය පැවැත්වීමට නිලධාරීන් දෙගුණයක් අවශ්‍ය යැයි කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති අවස්ථාවක මෙවැනි හැසිරීම් සැක සහිත බවත් පීඍිස් මහතා පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හට ඕනෑම අවස්ථාවක කොමිසමට පැමිණීමට හැකි යැයි එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් පීරිස් මහතා එම නීතිය සාමාජිකයන්ගේ පවුල්වල අයටත් වලංගුදැයි ප්‍රශ්න කළේය.

නව අදහස දක්වන්න