ක්‍රීඩාව ජූනි 1දා සිට යළි ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාතයාංශයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් | දිනමිණ


 

ක්‍රීඩාව ජූනි 1දා සිට යළි ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාතයාංශයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක්

ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා රුපියල් මිලියන 15ක් වටිනා සෞඛ්‍ය උපකරණ ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදුන් අයුරු. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා හා ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරු ද සිටිති.

එළැඹෙන ජූනි 1දා සිට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව අදියරෙන් අදියර නැවැත ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාතයාංශය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයි ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. සෞඛය නිර්දේශවලට මුල් තැන දෙමින් නැවැත කොරෝනා අර්බුදයක් ඇති නොවන ලෙස සෙමින් සෙමින් ක්‍රීඩාව ගොඩ නැගීමට අවහ්‍ය සැලසුම් සකස්කොට ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය. ඒ මහතා මේ බව පැවැසූවේ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ඊයේ පැවැති උත්සවයකදීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් මිලියන 15ක් වටිනා පී. සී. ආර් පරීක්ෂණ කට්ටල, එන්. 95 යන්ත්‍ර ඇතුලු කොරෝනා වසංගතය මර්දනය කිරීම උදෙසා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ක්‍රීඩා අමාත්‍යාංශයට පරිත්‍යාග කළ අතර මෙම පරිත්‍යාගයන් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා අතින් පිරිනැමීය.

“ ක්‍රීඩාව යළි ාරම්භ කළ යුතු ආකාරය පිළිබද ලෝකයේ දැවැන්ත රටවල නොයෙක් උදාහරණ තිබෙනවා. ලෝකයේ ප්‍රධානතම වෘත්තීය ලීග් තරගාවලි, ඇමෙරිකාව, ස්පාඤ්ඤය වැනි රටවල් කොහොමද නැවැත සක්‍රීය කරන්නේ. ඒ සදහා එම රටවල් විශාල මුදලක් වැයකොට ගොඩ නගන්න සූදානම්වන ආකාරය දැන් අපට දකින්න පුලුවන්. අපටත් බැරි කමක් නෑ. නමුත් වේගයෙන් එන්න බැරි වෙයි. පාසල් නැවැත පටන් ගැනීම පිලිබද බොහෝ අය මගෙන් විමසනවා. ඒ ගන්නා තීන්දුව සැහැල්ලු එකක් නොවෙයි. කොරෝනා වසංගතයට එරෙහි සටන ආරම්භ කළේ පාසල් වහලා. එහෙනම් කොරෝනා සටනේ අවසානය වන්නේ පාසල් ඇරීමයි. දරුවන්ට අවශ්‍ය සියලු සෞඛ්‍ය පහසුකම් දිය යුතුයි. ඒ සදහා රජයේ හා පුද්ගලික අංශවල සහය ලබාගෙන වඩාත් සුරක්ෂිතම පැයේ පාසල් අරින්න අප සූදානම්“ ඇමැතිවරයා පැවැසීය.

“ අපේ රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලබාදුන් විස්මිත හා ප්‍රායෝගීක නායකත්වය නොවන්නට මේ තරම් ප්‍රසශ්ත මට්ටමකට කොරෝනා පාලනය එන්න ලැබෙන්නේ නෑ. රට වෙනුවෙන් ඒ සුවිශේෂී නායකත්වයට අපගේ ගෞරවය හිමිකළ යුතුයි. වේගයෙන් නැගිටින්නට නායකත්වය දුන් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා පුරවැසියන් කෘතවේදීත්වය පිරිනමා සිටිනවා“ ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා හා ක්‍රීඩා අමාත්‍යාංශ නිළධාරීන්, ජාතික සම්මේලනවල ප්‍රධානීන් ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න