රට වෙනුවෙන් ඇට්ලස් ඓතිහාසික මෙහෙයුම | දිනමිණ


 

රට වෙනුවෙන් ඇට්ලස් ඓතිහාසික මෙහෙයුම

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ

සෞඛ්‍යය සේවයට පළමු වරට රොබෝ යන්ත්‍ර

ජාතික ආයතනයක් කටයුතු කරනුයේ ජාතියේ අවශ්‍යතාව සලකායි. අත්‍යවශ්‍ය මොහොතේ නොපැකිළිව අභියෝග ජය ගැනීමට නැඟී සිටී. හේමාස් යටතේ කටයුතු කරන ඇට්ලස් ඇක්සීලියා සමාගම සාමාන්‍ය සමාගමක් ලෙස නොසිට තම ජාතික මෙහෙවර මැනවින් හඳුනාගත් සමාගමක් බැව් පැවසිය හැක්කේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එහි මෙහෙවර සලකායි. කොවිඩ් 19 වසංගතය පැතිර යමින් පවතින අවස්ථාවේ ඇඳිරි නීතිය පැනවීම නිසා රටම අකර්මණ්‍යව පවතින විට ඔවුන් නව නිෂ්පාදනයක් එළිදැක්වීම සඳහා දිවා රෑ වෙහෙස විය. ඒ ඔවුන් එදිනෙදා සිදුකරන නිෂ්පාදන සඳහා නොවේ. කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දීමට සෞඛ්‍යය කාර්ය මණ්ඩල සඳහා සහාය විය‍ හැකි තාක්ෂණික නිෂ්පාදනයන් සිදුකිරීම සඳහායි.

ඇට්ලස් ඇක්සීලියා සමාගමෙහි නිෂ්පාදන වඩාත් සමීප වෙන්නේ දැයේ දූ දරුවන් සමඟයි. වසර 20ක කාලයක් පුරා රුපියල් 10කට බෝල්පොයින්ට් පෑනක මිල පත්වා ගැනීමට තරම් දියුණු කළමනාකරණ ශක්තියක් පවත්වා ගැනීමට සමත් ඇට්ලස් සමාගම පොත්, වතුර බෝතල්, පාසල් බෑග් මෙන්ම අනෙකුත් පාසල් හා කාර්යාල උපකරණ සපයන මෙරට ප්‍රමුඛතම සමාගමයි. එවන් අත්දැකීම් පවතින සමාගමක් සෞඛ්‍යය කාර්ය මණ්ඩල සහාය සඳහා අධි තාක්ෂණික උපකරණ ( රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය ) කිරීමට ඇති හැකියාව සැබවින්ම කුතුහලය ඇති කරන කරුණකි. ඇට්ලස් ඇක්සීලියා සමාගමෙහි වැඩ පරිසරය සහ වසර 60ක ඉතිහාසය තුළ ගොඩනඟා ඇති ඇට්ලස් සංස්කෘතිය තුළ මෙවැනි අභියෝගයන්ට සතුටින් උරදීමේ වපසරියක් ආයතනය තුළ ගොඩනඟා තිබීම එහි ඇති විශේෂත්වයයි. මේ පිළිබඳ දිනමිණ ‘කප්රුක‘ විමසුම් කරනුයේ මෙරට ඇට්ලස් ඇක්සීලියා ජාතික මෙහෙවර ඇගයීම මෙන්ම ජාතික අභියෝග හමුවේ රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට ඇති වගකීම පිළිබඳ ඉස්මතු කිරීමටයි.

හදිසි අවශ්‍යතාව සලකා මෙරට කොරෝනා ව්‍යාප්තියෙන් සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් රෝගී සත්කාරක සේවය සඳහා තාක්ෂණික සහාය ලබාදීම සඳහා වූ ඇට්ලස් සමාගමෙහි අරමුණට වටිනාකමක් ලබාදීමට පියවර ගත් පිරිස අතර කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය අධ්‍යක්ෂ ජාගොඩ මහතා ප්‍රමුඛයෙකි. රොබෝ යන්ත්‍ර සෞඛ්‍යය සේවයට සමීපකර ගැනීම පිළිබඳ ඔහුගේ අදහස් මෙසේයි. ‘කොවිඩ් 19 රෝග තත්ත්වයට මුහුණ දීම පිළිබඳ සෞඛ්‍යය අංශ තුළ වඩාත් සුදුසු ක්‍රමවේද ? ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි අවදානමක් ඇතිව තිබූ අවස්ථාවක රෝගී පරීක්ෂාවන් මෙන්ම සත්කාරක සේවාවන් සඳහා යාන්ත්‍රික සහාය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ ඇට්ලස් ඇක්සීලියා සමාගමෙන් යෝජනාවක් ඉදිරිපත් වූයේ. එය පැවති තත්ත්වය හමුවේ අවධානය යොමු කළ යුතු කාරණයක් වුණා. ලෝකයේ දියුණු රටවල රොබෝ තාක්ෂණය මෙවැනි අවස්ථාවන්හීදී භාවිත කළත් එවැනි අත්දැකීමක් අප සතුවූයේ නෑ. නමුත් සෞඛ්‍යය කාර්ය මණ්ඩල ආරක්ෂාව සහ විස්වාසය ඇති කිරීමට මෙන්ම හොඳ රෝගී සත්කාරක සේවයක් පවත්වා ගැනීමට තාක්ෂණයේ සහාය ලබාගත හැකිනම් එය ඉතාමත් අගනා කටයුත්තක් බව කාගේත් මතයයි. මේ බව අපි සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සමඟ සාකච්ඡා කළා. ඒ අනුවයි හෝමාගම මූලික රෝහල් පරිශ්‍රය තුළ රොබෝ යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් සඳහා අවසර ලැබුණේ. සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් මේ සඳහා ඉතා හොඳ සහයෝගයක් ලැබුණා. ඒ අනුව වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ඇට්ලස් සමාගමෙහි ඉංජිනේරු කණ්ඩායම අදහස් හුවමාරු කර ගනිමින් පවතින අවශ්‍යතාවට සරිලන ආකාරයේ සේවයක් ලබාගත හැකි ස්වයංක්‍රීයව ක්‍රියා කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබුණා. අභියෝග හමුවේ නොසැලී කටයුතු කළ හැකි ශ්‍රී ලංකිකයන් සතු පරාජය නොවන සාමූහික බව, කැපවීම, පරිත්‍යාගය මෙන්ම බුද්ධිමත් බව ඉස්මතු වූ කාර්යක් ලෙසයි මා මේ අවස්ථාව හඳුන්වන්නේ. මෙරට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ඉදිරි පිරවරක් ලෙසත් කොවිඩ් 19 රෝගී සත්කාරක සේවය සඳහා රෝබෝ තාක්ෂණය භාවිත කිරීමට හැකිවීම ඉතිහාසයට එක්වේවි.‘

ඇට්ලස් ඇක්සීලියා සමාගම විසින් නිපදවා අවසන් කරන ලද රොබෝ යන්ත්‍ර අතරින් පළමු යන්ත්‍රය ලබාදුන් රෝහල වන්නේ හෝමාගම මූලික රෝහලයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජනිත් මහතා සෞඛ්‍යය කාර්ය මණ්ඩලය සඳහා රොබෝ යන්ත්‍රයෙන් ලැබෙන සහාය පිළිබඳ පවසා සිටියේ මෙසේයි. ‘ මේ යන්ත්‍රයෙන් ලැබෙන සහාය ඉතා ඉහළයි. කොවිඩ් 19 රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවේ අපිට පමණක් නොවෙයි. ලෝකයටම අලුත් අත්දැකීමක්. මේ අභියෝගයට මුහුණ දීමේ දී අපගේ කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. මේ යන්ත්‍රය නිසා රෝගීන් සමඟ ගැටීම අවම මට්ටමක පවත්වා ගැනීමට හැකිවී තිබෙනවා. දිනකට තුන්වතාවක් රෝගීන් වෙත ආහාර ලබාදිය යුතු වෙනවා. ඒ අවස්ථා තුනම කාර්ය මණ්ඩලයේ කෙනෙක් නොයා සිටීමට රොබෝ යන්ත්‍රය නිසා හැකි වෙනවා. මීට අමතරම විශේෂ අපහසුතාවකින් රෝගියකු පසුවෙනවානම් උදාහරණයක් විදිහට රෑ 12 ට ඇදක්මත ඉදගෙන සිටිනවා යැයි සිතමු. ඔහු පිළිබඳ විමසීමට හෙද කාර්ය මණ්ඩලයේ කෙනෙක් නොගොස් රොබෝ යන්ත්‍රය අදාළ ඇද අසලට යවා විමසීමක් කිරීමට හැකියාවක් තිබෙනවා. මේ යන්ත්‍රයේ ඇති පහසුකම වෙන්නේ අදාළ රෝගියා සිටින ඇද අංකය ඇතුළත් කිරීමෙන් අනතුරුව ඒ වෙතට රෝබෝ පහසුවෙන් ළඟාවීමයි. එහි සවිකර ඇති කැමරාව නිසා වෛද්‍යවරයාට දුරස්ථව සිටිමින් රෝගියා දැකගත හැකි අතරම ඔහු හා කතා කිරීමේ හැකියාවත් පවතිනවා. රෝගියාට දුර සිට උපදෙස් ලබා දීමට මෙන්ම රෝගියාගේ අදහස් වෛද්‍යවරයා සමඟ බෙදා ගැනීමට ඇති හැකියාව නිසා මෙය භාවිත කිරීමෙන් ලබාගත හැකි මෙහෙවර ඉතා විශාලයි. සෞඛ්‍යය කර්ය මණ්ඩලයට මේ නිසා විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ යන්ත්‍රය නිසා අත්වන ආර්ථික වාසියත් වැදගත්. රෝගීන් වෙත එක් අවස්ථාවක් ගිය විට කාර්ය මණ්ඩලය පැළඳි සියලු ආරක්ෂිත ඇඳුම් ඉවත් කළ යුතු වෙනවා. එක් සේවකයෙක් තෙවතාවක් රෝගීන් වෙත ප්‍රවේශවීම සඳහා අවශ්‍ය වන ආරක්ෂිත ආවරණ සඳහා වන වියදම රුපියල් 6000ක් පමණ වෙනවා. එවැනි තුන්දෙනකු සඳහා දිනකට යන වියදම රුපියල් 18,000ක් පමණ අවම වශයෙන් මේ යන්ත්‍රය නිසා ඉතිරි වෙනවා. මෙය නිෂ්පාදනය කොට තිබෙන්නේ ඕනෑම කෙනකුට පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයෙන් වීම ඉතා වැදගත්. ස්වංක්‍රීයව ආරෝපණය කර ගැනීමේ පහසුකම වැදගත්. දිනපතා නිසි ජීවානුහරණ ක්‍රියාවලියකින් මේ යන්ත්‍රයේ පිරිසිදු බව අඛණ්ඩව පවත්වා ගැනීම සිදු කරනවා. වෝඩ් රවුන්ඩ් ක්‍රියාවලිය මුළුමනින්ම මේ රොබෝ යන්ත්‍රය හරහා සිදුකිරීමට හැකිවීම සෞඛ්‍යය කාර්ය මණ්ඩලයට ලැබී ඇති ප්‍රමුඛතම සහායයි.‘

සති දෙකක් වැනි කෙටිකාලයකදී කොවිඩ් වසංගතය දුරු කිරීමේ අරමුණින් ඇරැඹි ඉරණවිල රෝහල කොවිඩ් මර්දනය කිරීමේ සුවිශේෂී මධ්‍යස්ථානයකි. එහි අධ්‍යක්ෂ දමිත් පොන්වීර මහතා සිය අත්දැකීම් මෙලෙස විස්තර කළේය. ‘ඉරණවිල රෝහල ඉදිකෙරුණේ පැරැණි ගොඩනැගිල්ලක් නවීකරණය කරමින් ඉතා කඩිනම් සැලසුමකට අනුවයි. ඉරණවිල රෝහලේ කටයුතු මා වෙත භාර දුන් අවස්ථාවේ හෝමාගම රෝහලේ මෙහෙයුම් සිදුකරන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කිරීමට මා කටයුතු කළේ අලුතින් ආරම්භ කිරීමට යන රෝහලේ කටයුතු සැලසුම් කිරීමට අවශ්‍ය අත්දැකීම් ලබාගැනීමටයි. එම අවස්ථාවේ ඇට්ලස් කාර්ය මණ්ඩලය රොබෝ යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා දිවා රාත්‍රි නොබලා එහි වෙහෙසෙන අන්දම මම දුටුවා. ඔවුන්ගේ කාර්ය පිළිබඳ විමසීමෙන් අනතුරුව එවැනි රෝබෝ යන්ත්‍රයක සේවය ලබා ගත හැකි නම් ඉරනවිල රෝහලේ කටයුතු වඩාත් පහසු ආකාරයෙන් සැලසුම් කළ හැකි බවට මා තුළ විශ්වාසයක් ඇතිවී තිබුණා. ඊට හේතුව හෝමාගම රෝහලේ ඔවුනගේ අත්හදාබැලීම් සහ සැලසුම් කිරීම් විධිමත් අන්දමින් විද්‍යාත්මක පදනමකින් යුතුව සිදුකෙරෙන ආකාරය හඳුනාගත් නිසයි.

මේ වනවිට ඉරණවිල රෝහලේ කටයුතු වඩාත් පහසු කර ගැනීමට අප වෙත ලබා දුන් රොබෝ යන්ත්‍රය සුවිශේෂී සහායකයකු ලෙස යොදා ගන්නවා. මෙහි වාට්ටු හතරක් පිහිටුවා තිබෙනවා. එහි රෝගී පරීක්ෂා කරයුතු මෙන්ම රෝගීන්ට ආහාර ලබාදීම, ජලය සහ ඖෂධ ලබාදීම සිදුකරනුයේ රොබෝ යන්ත්‍රය මඟින්වීම විශේෂත්වයයි. මේ නිසා සෞඛ්‍යය කාර්ය මණ්ඩලය අනවශ්‍ය ලෙස රෝගීන් වෙත නිරාවරණයවීම අවම කිරීමට හැකිවී තිබෙනවා.

මේ රොබෝ යන්ත්‍රයේ විශේෂත්වය පිළිබඳ මෙන්ම එය නිෂ්පාදනය කිරීම සඳහා ඇට්ලස් කණ්ඩායම කළ කැපවීමත් සිහිපත් කළ යුතුයි. දිවා රාත්‍රි නිදි නොලබා ඔවුන් මෙය වඩාත් උසස් සේවයක් කළ හැකි මට්ටමෙන් සකස් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරුවා. ඒ කැපවීම ඉතා ඉහළයි. ඇතැම් විට රාත්‍රි ආහාර තේ ඔවුන් වෙත රැගෙනවිත් තිබුණත් ඔවුන් ආහාර ගැනීමටවත් තම කාර්ය නතර කිරීමට මැළි වුණා. පළමු රොබෝ යන්ත්‍රයේ රෝගියාට වෛද්‍යවරයා හා කතා කිරීමට පමණයි හැකිවූයේ. වෛද්‍යවරයාට රෝගියා දැක ගැනීමට හැකිවන පරිදි කැමරා සවිකර තිබුණා. නමුත් දෙවැනි යන්ත්‍රයේ රෝගියාටත් වෛද්‍යවරයා දකිමින් සංවාදයේ නිරතවිය හැකි පරිදි රොබෝ යන්ත්‍රය මත තිරයක් සවිකර තිබෙනවා. ඒ හේතුවෙන් වඩාත් සමීපව සන්නිවේදනය කිරීමේ හැකියාව දියුණු කර තිබීමත් විශේෂත්වයක්.

මෙරට මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස පසුගිය දිනෙක ඇට්ලස් ඇක්සීලියා සමාගම සහ ඔගිල්වි මහජන සම්බන්ධතා ආයතනය එක්වී සමාජ දුරස්ථභාවය රකිමින් මෙරට පවත්වන ලද පළමු විද්යුත් මාධ්‍ය සාකච්ඡාව සංවිධාන කර තිබුණේ ඇට්ලස් සමාගම විසින් නිෂ්පාදනය කළ රොබෝ යන්ත්‍ර පහ සහ ඒවායේ මනා ක්‍රියාකාරීත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමටයි. එහිදී ඇට්ලස් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ විරාජ් ජයසූරිය සිය දායකත්වය පිළිබඳ දැක්වූ අදහස් මෙසේයි. 

‘ කොවිඩ් වසංගතය ඉතාලියේ වේගයෙන් පැතිරෙමින් පවතින අවස්ථාවේ ශ්‍රී ලංකාවටත් එහි අඳුරු සෙවනැලි වැටෙමින් පැවතුණා. මේ අවස්ථාවේ අපගේ ඒකායන අරමුණ වූයේ ඉතාලිය මෙන් දරුණු තත්ත්වයක් ඇතිවීමට පෙර අප රට ඉන් ගැලවීම සඳහා හැකි සියලු උත්සාහයන් දැරිය යුතු බවයි. ඒ අනුව මේ තත්ත්වය සමනය කිරීම සඳහා අපිට කළ හැක්කේ කුමක් දැයි අප මුලින්ම සාකච්ඡා කළා. ඒ අනුව රෝහල් සඳහා අවශ්‍ය වෙන වෙන්ටිලේටර් නිර්මාණය කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත්වුණා. ඒ අනුවවෙන්ටිලේටර් එකක් නිර්මාණය කළත් ඒ වනවිට ආයතන කිහිපයක් ඒ සඳහා කටයුතු කරන බව පෙනී ගියා. මේ අතර සෞඛ්‍යය අංශයට සම්බන්ධ අයගෙන් ලද තොරතුරුවලින් අනාවරණය වූයේ සෞඛ්‍යය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයක් සැකසිය හැකිනම් එය වඩාත් වැදගත් බවයි. ඒ අනුවයි රොබෝ යන්ත්‍රය පිළිබඳ අදහස ඉස්මතු වූයේ. ස්වයංක්‍රීයව ධාවනය වන වාහනයක් පරිද්දෙන් ක්‍රියා කරන රොබෝ යන්ත්‍රයක් ඇට්ලස් කර්මාන්ත ශාලාව තුළ ක්‍රියාත්මක වෙනවා. එහි කාර්ය වෙන්නේ නිෂ්පාදනය කර අවසන් නිෂ්පාදන ඇසුරුම් නිෂ්පාදනය කරන ලද ස්ථානයේ සිට ප්‍රවාහනය සඳහා සූදානම් කරන ස්ථානය වෙත ගෙන ඒමයි. මෙය ස්වංක්‍රීයව ක්‍රියාත්මකවීම එහි විශේෂත්වයයි. මේ තාක්ෂණය කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍යය කාර්ය මණ්ඩලයට දුරින් සිට රෝගීන් වෙත වඩාත් නිවැරැදි ආකාරයේ සේවයක් ලබාදීම සඳහා අප දියුණු කළා. ඒ සඳහා දැනටමත් බටහිර රටවල ක්‍රියාත්මක වෙන රියැදුරු නොමැති වාහනයක පවතින තාක්ෂණය මීට සමානයි. වාට්ටු අංකය ඇඳ අංකය ලබාදුන්විට ස්වංක්‍රීයව ඒ වෙත යෑමට හැකියාව තිබෙනවා. ආහාර, බෙහෙත්, වතුර ආදිය ගෙන යෑමට මෙන්ම රෝගියාට දිය යුතු පණිවුඩයක් ලබාදීමටත් හැකියි. රෝගී පරික්ෂාව ආරක්ෂිතව විධිමත්ව කළ හැකි ආකාරයෙන් මෙය දියුණු කිරීමට හැකියාව ලැබුණේ අප කණ්ඩායම වඩාත් උසස් මට්ටමේ නිර්මාණයක් වෙළෙඳපොළෙහි පවතින තත්ත්වයන්ට අනුකූල පරිදි නිර්මාණය කිරීමට ගත් උත්සාහය නිසාමයි. වැදගත්ම කරුණ මෙවැනි නිර්මාණ කාර්යක් කඩිනමින් කිරීම සඳහා අප සතුව පැවති හැකියාවයි. ඒ හැකියාව ගොඩනැඟී තිබෙන්නේ කලක් පුරා අප විසින් ගොඩනැඟු ආයතනික පරිසරයයි. දිනපතා නව්‍ය අදහස් ඉදිරිපත් වෙන ආයතනයක් ලෙස අප ආයතනයේ ක්‍රියාකාරී සැලසුමක් පවතිනවා. ඒ අනුව සේවකයන් වෙතින් දිනපතාම යෝජනා 40-50ක් පමණ ගලා එනවා. දිනපතාම සැලසුම් කෙරෙන්නේ කාලය, අමුද්‍රව්‍ය, ශ්‍රමය අවම කරමින් නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බව දියුණු කිරීම පිළිබඳයි. ඒ අනුව යන්ත්‍ර දෙකක් එක්කල අවස්ථා තිබෙනවා. සේවකයන් තිදෙනකු සේවය කළ ස්ථානයකට එක් යන්ත්‍රයක සේවය ලබාගන්නා අවස්ථාවන් තිබෙනවා. මේ අයුරින් පසුගිය වසරේ පමණක් ලැබුණු නව්‍ය අදහස් යෝජනා 800ක් පමණ තිබෙනවා. අපි ඇට්ලස් සංස්කෘතිය ලෙස හඳුන්වන්නේ මේ නව්‍ය බවයි. මේ පරිසරය තුළ අපේ අය අලුත් දේවල් කිරීමට ලැබීම භාග්‍යයක් කොටයි සලකන්නේ සැබවින්ම ජාතික අවශ්‍යතාවක් ඇති අවස්ථාවේ අප එය කළා. එය අපට මහත් සතුටක්.

මාධ්‍ය හමුව අමතමින් අදහස් දැක්වූ ඇට්ලස් ඇක්සීලියා ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා පවසා සිටියේ මේ කාර්ය සාර්ථක කර ගැනීමට සහාය වූ සෞඛ්‍යය අමාත්‍යාංශයේ මෙන්ම තම ආයතනය පිළිබඳ විශ්වාසයෙන් අපේක්ෂා සහගතව කටයුතු කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කරන බවයි. මෙවැනි රොබෝ යන්ත්‍ර නිපදවීමට ඉදිරිපත්වෙන තවත් ආයතන තිබේ නම් ඔවුනට අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම මඟ පෙන්වීම ලබාදීමට ඇට්ලස් නිරතුරුවම සූදානම් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.‘ නිපදවන ලද රොබෝ යන්ත්‍ර පහ කුරණෑගල, මහනුවර, මෙන්ම හෝමාගම මෙන්ම ඉරණවිල රෝහල්වල කොවිඩ් මර්දන කටයුතු සඳහා අඛණ්ඩව භාවිත කරීම සතුටට කරුණක්. ජාතික අවශ්‍යතාව සලකා මෙවැනි නිෂ්පාදන ඉදිරියේදීත් කිරීම අපේ අරමුණයි.

නව අදහස දක්වන්න