ඉතාලියට කොරෝනා මෙතරම් දරුණු වුණේ ඇයි? | දිනමිණ


 

ඉතාලියට කොරෝනා මෙතරම් දරුණු වුණේ ඇයි?

විශිෂ්ට වෛද්‍ය සේවයක්
ඉහළ ආයු අපේක්ෂාවක්
ආර්ථිකමය ශක්තියක් ඇති

ආර්ථික වශයෙන් පොහොසත් රටක් වන නිදහස් සෞඛ්‍ය සේවයක් ඇති ඉතාලියේ මේ වන කොරෝනා ආසාදිතයන් 218,268ක් වාර්තා වී තිබේ. එයින් 103,031ක් සුවය ලබා ඇති අතර මරණ 30,395ක් වාර්තා වී ඇත. එරට මේ වසංගතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූයේ ඇයි ද යන්න විමසා බැලීමට වටිනා කාරණයකි.

ලෝකයේ වැඩිම වැඩිහිටි අනුපාතයක් සිටින ජපානයට පසු එම වාර්තාවේ දෙවැනි ස්ථානය හිමි කරගෙන සිටින්නේ ඉතාලියයි. එයට හේතුව එරට උසස් සෞඛ්‍ය තත්ත්වයක් තිබීමයි. නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවකට අනුව එරට ජනගහනයෙන් සියයට 23ක් වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්ය. කොරෝනා වසංගතය එරට වේගයෙන් ප්‍රචලිත වීමට බලපෑ කාරණා අතරින් මේ වැඩි වයස් ජනගහනය වැඩියෙන් සිටීම බලපා ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

යුරෝපය සලකන විට පැරැණිතම ජනගහනයක් ඇත්තේ ඉතාලියටයි. එරට ජනගහනයේ මධ්‍ය වයස 47.3ක් වේ. අමෙරිකාවේ එම සංඛ්‍යාව 38.3 කි. කොරෝනා වෛරසයෙන් එරට මියගිය වැඩි දෙනා වයස අවුරුදු අසූව, අනූව සීමාවේ අයයි. එසේම මියගිය අයගෙන් සියයට 37ක් වයස අවුරුදු 70 ට වැඩි අයයි. කොරෝනා ආරම්භ වූ චීනයේ එය සියයට 12 කි. තනි කිරීම නිසා දැනෙන පාලුව සහ මියගිය විට හුදෙකලාව අවසන් කටයුතු සිදු කරන බව දැන ගැනීම කොරෝනා වසංගතයෙන් මියයාමටත් වඩා වැඩිහිටියන්ට වේදනාව ඇති කළ සමාජ ප්‍රශ්නයකි.

ජනගහනයෙන් වැඩි කොටසක් වැඩි වයස් වීම නිසා ඔවුන් පහසුවෙන් මේ රෝගයට ගොදුරු වීම ඉතාලියේ කොරෝනා ප්‍රතිශතය ඉහළ යාමට බලපා ඇතැයි මිචිගන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඕබ්‍රි ගෝර්ඩන් කියා තිබේ. මද රෝග ලක්ෂණ පෙන්වූ අය පරීක්ෂාවට ලක් කිරීමට උනන්දු නොවීම ද රෝගීන් කලින් හඳුනා ගැනීමට බාධාවකි. එසේ වූයේ නම් වෛද්‍ය ආධාර අවශ්‍ය අයට නිසි පරිදි ප්‍රතිකාර ලබා දීමෙන් මරණ ප්‍රතිශතය අඩු කර ගත හැකිය. අනෙක් අතට රෝගීන් වැඩි වශයෙන් හඳුනා ගැනීමෙන් රෝග ආසාදිතයන්ට දක්වන මරණ අනුපාතය සංඛ්‍යා විද්‍යාත්මකව පහළ යයි.

මාර්තු 18 වැනිදා වන විට ඉතාලියේ කොරෝනා ආසාදිතයන් සෙවීමේ පරීක්ෂණ 125,000ක් පමණ සිදු කළ අතර දකුණු කොරියාව පරීක්ෂණ 340,000ක් සිදු කළේය. මේ නිසා දකුණු කොරියාවේ මරණ අනුපාතය සියයට 0.6ක් දක්වා අඩු කිරීමට හැකි විය. ඉතාලියේ පරීක්ෂණ සිදු කෙරුණේ වැඩි වශයෙන් ආසාදන පෙන්නුම් කළ ප්‍රදේශවල සහ බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කළ අය අතරයි. මාර්තු අග භාගයේ දින තුනක දී ඉතාලියේ කොවිඩ් - 19 මරණ දිනකට 433ක්, 627ක් සහ 793ක් ලෙස දක්නට ලැබිණි. තව දුරටත් රෝගය උත්සන්න වූ අවස්ථාවේ දී එම සංඛ්‍යාව දිනකට 919ක් දක්වා වැඩි වූ ආකාරය නිරීක්ෂණය විය.

රෝගය වේගයෙන් පැතිරෙන විට එරටට එය පාලනය කර ගත නොහැකි විය. රෝහල් ඇඳන් ප්‍රමාණවත් නොවීය. මේ නිසා කොරෝනා දරුණු ලෙස ව්‍යාප්ත වූ ප්‍රදේශවල රෝගීන් හුදෙකලා කිරීමට ඉතා අසීරු සටනක නිරත වීමට එරටට සිදු විය. මේ ප්‍රශ්නය එක්තරා දුරකට විසඳා ගැනීමට තරු හතරේ “මයිකල් ආන්ජලෝ හෝටලය” 300 කට සිටිය හැකි නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කෙරිණි.

රෝග හඳුනාගැනීමේ පරීක්ෂණ නිසි පරිදි සිදු කිරීමට නොහැකි වූ නිසා ලබා දෙන දත්තවලින් නියම ප්‍රමාණය අනාවරණය වූයේ නැතැයි මිලාන් නුවර සැකෝ රෝහලේ වසංගත රෝග අංශයේ ප්‍රධානී මැස්සිමෝ ගාලි කීවේය. හොඳ වෛද්‍ය සේවයක් පවතින නිසා ඉතාලියේ වැඩිහිටියන්ට වැඩි ආයු අපේක්ෂාවක් ඇති අතර මේ නිසාම රෝග වැළඳීමේ අවදානම ද වැඩිය. වසංගත රෝග ඒකකය පවසන පරිදි කොරෝනා වයිරසය නිසා මියගිය අයගෙන් සියයට 48ක් වෙනත් බරපතළ රෝගාබාධ ද තිබූ අයයි. දැඩි පවුල් බැඳීමක් ඇති රටක් වශයෙන් ඉතාලියේ වැඩිහිටියන් ද බොහෝ දුරට සිටින්නේ පවුලේ අනෙකුත් අයත් සමඟය. බොහෝ රටවල් සමාජ දුරස්ථකරණයට පියවර ගනිද්දී එය ආර්ථිකයට බාධාවක් යැයි සිතූ ඉතාලිය ඒ පියවරට පැමිණියේ ප්‍රමාද වීය. ඔවුන් මෙවැනි වසංගතයකට සූදානමින් නොසිටි අතර එය හැසිරවීමට ද අසමත් විය.

ලොම්බාඩිවල ඇතැම් වෛද්‍යවරුන් සිය රාජකාරි ඉටු කළේ ප්‍රමාණවත් තරම් ආරක්ෂිත උපාංග ඇතිව නොවේ. ඉතාලියේ ජාතික සෞඛ්‍ය ආයතනයට අනුව වෛද්‍යවරුන් සහ හෙදියන් 3,700 කට වෛරස ආසාදනය වී ඇති අතර රාජකාරියේ දී රෝගය වැළැඳීම නිසා 14 දෙනකු මියගොස් ඇත. සෞඛ්‍ය සේවකයන් ආසාදනයට ලක් වීම නිසා ඒ අයට සේවයෙන් බැහැර වන්නට සිදු වීම එරට සෞඛ්‍ය සේවක හිඟය තවත් උග්‍ර කළේය. කොරෝනා රෝගයේ දෙවැනි වටයක් නොඑතැයි සිතා සිටි ඉතාලිය නහය ළඟටම ගිලී සිටින අයකු තවත් මුහුදු රළක් නොඑතැයි සිතන්නාක් බඳු යැයි මැස්සිමෝ ගාලි අල්ජසීරා වෙත ප්‍රකාශ කළේය.

ඉතාලියේ වායු දූෂණය වැඩි වීමත් එරට වැසියන් අධික ලෙස දුම්පානය කිරීමත් මරණ වැඩි වීමට තවත් හේතුවක් යැයි විද්වත්හු කියති. මරණවලින් බහුතරයක් සිදු වන උතුරු පළාතේ ලොම්බාර්ඩිවල වායු දූෂණය ඉතාම ඉහළය. අනිත් අතට එක් වෛද්‍යවරයකුට බැලීමට සිටින රෝගීන් සංඛ්‍යාව ඉතා විශාල වේ. ඇතැම් විට එක් වෛද්‍යවරයකුට රෝගීන් 1,200ක් පමණ බැලීමට සිදු වන අවස්ථාවක බොහෝ දෙනා සුවය ලැබීම ආශ්චර්යයක් පමණි.

වසංගතයේ එක් අවස්ථාවක දී ඉතාලියේ 63,927 කට කොරෝනා වැළැඳී සිටිය දී මරණ 6,077ක් වාර්තා වූ අතර ඒ කාලයේ දී චීනයේ ආසාදන 81,496 කට සිදුවූයේ මරණ 3,274කි. මේ අනුව ඉතාලියේ මරණ අනුපාතය සියයට 9ක් වූ අතර චීනයේ එය සියයට 4 කට සීමා විය. ජර්මනියේ ආසාදන 28,865 කට මරණ 118ක් එනම් සියයට 0.4ක් වාර්තා විය.

ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය වෝල්ටර් රිකාඩ් පෙන්වා දෙන්නේ වෛද්‍යවරු මරණ වාර්තා කරන විවෘත ආකාරය නිසා ද කොරෝනා මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බවයි. උදාහරණයක් දක්වමින් තම මතය සනාථ කිරීමට උත්සාහ කරන මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් මියයන වැඩිහිටියන් බොහෝ විට බරපතළ රෝගාබාධ දෙක තුනකින් පෙළෙන බවත් මරණය හරියටම සිදු වූයේ කුමන රෝගයකින් දැයි තීරණය කිරීමේ දී කොරෝනා ගොඩට එය එකතු වන බවත්ය. කෙසේ වෙතත් කොරෝනා මරණ ගැන සිදු කළ පසු විපරමක දී ඒ මරණවලින් සියයට 12ක් සෘජුවම කොරෝනාවලිනුත් ඉතිරි සියයට 88 රෝගාබාධ කිහිපයක් නිසාත් සිදු වී ඇතැයි ඔහු කීවේය.

බුද්ධි කරුණාරත්න

 

නව අදහස දක්වන්න