අපේ දැක්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක් | දිනමිණ


 

අපේ දැක්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්

ධම්මික සෙනෙවිරත්න
ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය, වාසුදේව නානායක්කාර

ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් පිරෙන අද දිනය විශේෂය. ඒ දිගු දේශපාලන චාරිකාව අගයනු වස් මෙන්ම කොරෝනා වසංගතයට රට මුහුණදෙමින් ඇති අයුරු සහ ඒ ආශ්‍රිත සමාජ, දේශපාලන, ආර්ථික කාරණා ගැන අවධානය යොමු කරමින් සිදුකළ සංවාදයකි.

• කොරෝනා වසංගතයට එරෙහිව ක්‍රියා කිරීමේදී රටක් විදිහට අද අපි ඉන්න තැන ගැන ඔබ මොකද කියන්නෙ?

අපි රටක් හැටියට ඉතා හොඳින් ඊට මුහුණ දෙමින් සිටින්නෙ. ලෝකයේ අනෙක් රටවල් සමඟ බලනවිටත් අප සාර්ථකව මෙය පාලනය කරන බව පෙනෙනවා. ආසාදිතයෙක් හමුවෙන්නෙ විදේශ රටවල සිට පැමිණෙන ලාංකිකයන් අතරින් හා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින නාවික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ට සම්බන්ධ අය අතරින් පමණයි. මරණ සංඛ්‍යාව ඉතා අවම මට්ටමක තියෙනවා වගේම මේ වනවිට සුවය ලබමින් ඇති ප්‍රතිශතයත් වැඩියි. මේ වසංගතය හමුවේ වුණත් කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය පවත්වා ගෙන යාමට අපට හැකිවීමත් වැදගත්. එසේ කළා කියලා එම ක්ෂේත්‍ර ආශ්‍රිතව නව ආසාදිතයන් හමුව‍ුණේ නෑ.

ඊළඟට අපට තියෙන්නෙ මහ මැතිවරණය. ජනතාවගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, සර්වජන ඡන්ද බලය ආරක්ෂාවිය යුතුයි. දැනට මේ කාරණය අධිකරණය හමුවෙ තියෙන්නෙ. සෞඛ්‍ය අංශ විසින් මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ මැතිවරණ කොමිසමට ලබාදීලයි තියෙන්නෙ.

• නමුත් මෙහිදී ආණ්ඩුව අසාර්ථකයි කියලා විපක්ෂය චෝදනා කරනවා නේද?

සාර්ථක හෝ අසාර්ථක බව දැක්වීමට මිම්මක් දෙන්න ඕනනෙ. එක්කො මරණ අඩු-වැඩි වීම, ආසාදිතයන් අඩු-වැඩිවීම වගේ මොනව හරි අදාළ මිම්මක්, ඒවා ගැන කතා කරන්නෙ නැතුව නිකම්ම අසාර්ථකයි කියනවා. මං මේ වචන පාවිච්චි කරන්න අකමැති වුණත් ඒක මහ බූරු කතාවක් කියලයි කියන්න වෙන්නෙ.

• අපි, ගෝලීය තත්ත්වය දෙසට මඳක් හැරුණොත් අමෙරිකාව හා යුරෝපා රටවල් මුහුණදී ඇති තත්ත්වය පැහැදිලියි. චීනය, වියට්නාමය වගේ රටවල් මේ අභියෝගය සාර්ථකව කළමනාකරණය කළ බවත් පෙනෙනවා. මේ ගැන ඔබේ විග්‍රහය කෙබඳු ද?

අමෙරිකාව හා යුරෝපය කොරෝනා එන්න කලින් ඉඳලම ආර්ථික පසුබෑමක හිටියා. දැන්, මේ වසංගතයත් එක්ක ඔවුන් තවත් අර්බුදයට යනවා. චීනය මාස 3ක් වගේ කාලයකින් මේ අභියෝගය ජයගත්තා. වියට්නාමයත් එහෙමයි. ලංකාවත් එහෙමයි. ඒ සඳහා මේ රටවල් විශාල වශයෙන් සම්පත් යෙදෙව්වා. හැබැයි අමෙරිකාව එහෙම කළේ නෑ. ලංකාව වගේ රටවල ඒ සෞඛ්‍ය මෙහෙයුම් හොඳින්ම සිදුවුණා. ඒක අපේ සාර්ථකත්වයට විශාල ලෙස බලපෑවා. ප්‍රතිශක්තිය වගේ කාරණත් මෙහිදී අදාළයි.

• වසංගත ව්‍යාප්තිය පාලනය කරගෙන ආර්ථික අභියෝගයට මුහුණදීම සඳහා ඉදිරියට යාම ගැන ඇතැම් රටවල් මේ වනවිට ක්‍රියා කරමින් සිටිනවා. අපිත් අදියරෙන් අදියර ඊට යොමුවී ඇති පසුබිමක අවධානය යොමුවන කාරණා මොනවා ද?

එම ආර්ථික ක්‍රියාකාරකම් බාහිර හා අභ්‍යන්තර වශයෙන් සැලකීමට සිදුවෙනවා. පසුගිය මාස 3ක පමණ කාලසීමාව තිස්සේ අපේ ඇඟලුම් කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට වගේ ක්ෂේත්‍රවලට මේ තත්ත්වය විශාල ලෙස බලයා තියෙනවා. මේවායින් වගේම අපනයන හා විදේශගත අපේ ශ්‍රමබළකාය එවන විනිමය ආර්ථිකයට විශාල ශක්තියක්. නමුත් ඒ සියල්ලට මේ තත්ත්වය බලපෑවා. අභියෝගයට මුහුණදෙන අතරම යම් ඉඩප්‍රස්ථා නිර්මාණය කරගැනීමත් දකින්න පුලුවන්. උදාහරණ හැටියට අපේ ධීවර කර්මාන්තය අපනයනය සඳහා යොමු වුණා. ඇඟලුම් ක්ෂේත්‍රය සෞඛ්‍යය ආරක්ෂක ඇඟලුම්, මුව ආවරණ ආදියට ලෝකයෙන් ඇති ඉල්ලුම සැපයීමට යොමුවුණා.

වාසනාවකට අපේ තේ සඳහා ලෝකයෙන් හොඳ ඉල්ලුමක් තියෙනවා. පසුගිය දිනවලත් අපේ තේ සඳහා හොඳ මිලක් ලැබුණා. ඒක මේ කර්මාන්තයේ නියැළෙන කුඩා තේවතු හිමියන් ඇතුළු කාටත් සතුටක් වගේම ආර්ථිකයටත් ශක්තියක්.

සංචාරක ව්‍යාපාරය යළි පණගැන්වීමට තවත් මාස 3ක්වත් ගතවෙයි. ඒ සඳහා නව ආරම්භයක් ගන්න වෙනවා. අලුත් තත්ත්වයට ගැළපෙන විදිහට හෝටල් ආදී පහසුකම් දියුණු කළ යුතුයි. හෝටල් කර්මාන්තයේ දැනට ඒ පහසුකම් ඇති කෙරෙමින් තියෙනවා.

මේ වසංගතය හමුවේ ඇතිවූ ආර්ථික බලපෑමත් සමඟ ලොවපුරා අතිවිශාල පිරිසකට තම රැකියා පවා අහිමි වුණා. රැකියා අහිමි නොවන පරිදි වගබලාගැනීමට රජය ඒ මැදිහත්වීම් කළා. සේවා ස්ථාන සඳහා දැනට කැඳවන්නේ 1/3 ක පිරිසක්. ඒ අයට වැටුප්, දීමනා ආදිය සම්පූර්ණයෙන් ගෙවනවා. කැඳවන්නේ නැති පිරිසටත් වැටුපෙන් භාගයක් ගෙවනවා. කවුරුවත් සේවයෙන් අස්කිරීමක් සිදුවෙන්නෙ නෑ. රැකියා සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබියදී විපක්ෂය ත්‍රීවීලර්වලින් ජීවනෝපාය සලසාගත් අයගේ එම රැකියා අහිමිවෙලා ඇති බව කියා තිබුණා. ඇඳිරිනීතිය බලපැවැත්වෙන නිසා කොළඹ - ගම්පහ දිස්ත්‍රික්කවල මේ රැකියාවේ යෙදෙන අයට බලපෑමක් තියෙනවා. රටේ අනෙක් ප්‍රදේශවල එවැනි බලපෑමක් නෑ. වෙනදා වගේ සාමාන්‍ය විදිහට මේ සේවා සැපයීමට ඇති ගැටලු ගැන රජයට අවබෝධයක් තියෙනවා. මේ කර්මාන්තයේ නියැළෙන අයට ලීසිං වාරික ගෙවීමට සය මසක සහන කාලයක් ලබාදුන්නෙත් රුපියල් 5000/= දීමනාව ලබාදීමට පියවර ගත්තෙත් රජය මේ ගැන සංවේදී නිසා ඕනෑම ක්ෂේත්‍රයක මේ වගේ අවස්ථාවක දුෂ්කරතා තියෙනවා. ඒක සෙසු ලෝකයට වගේම අපටත් අදාළයි. අපි ඒ කාරණා තේරුම් අරගෙන ඉන්නෙ. දැන්, කොළඹ, ගම්පහ ඇඳිරිනීති තත්ත්වයත් ලිහිල් වුණාම තවදුරටත් මේ ජීවනෝපායන්ට අවස්ථාව ලැබෙනවා.

• රුපියල් 5000/= දීමනාව ලබාදීමට ගත් පියවරත් විපක්ෂයේ විවේචනයට ලක්වෙනවා. ඇයි එහෙම වෙන්නෙ?

එදිනෙදා ආදායම් උපයලා ජීවනෝපාය සලසාගත් අපේ ජනතාව ගැන කල්පනා කරල ඒ අපහසුතාවන්ට යම් සහනයක් වශයෙන් තමයි, රුපියල් 5000/= දීමනාව ලබාදුන්නෙ. අප්‍රේල් - මැයි මාස දෙකටම එය ලබාදීමට ක්‍රියාකළා. ඊට අමතරව වකුගඩු රෝගයෙන් පෙළෙන අය, වැඩිහිටියන් සමෘද්ධිලාභීන් ආදී කණ්ඩායම්වලටත් ඒ මුදල් හා සහන සැලැස්වුවා. ඒ සියල්ල කළේ මේ අසීරුතා ගැන අවබෝධයක් ඇති නිසා. ජනතාව වෙනුවෙන් ඒ ක්‍රියාමාර්ග ගත්තෙ මේ වගේ අවස්ථාවක එය ශක්තියක් වන නිසා, සද්භාවයෙන්.

• ගෝලීය වශයෙන් මුහුණදෙන අභියෝග ඔස්සේ බැලුවත් දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට හා ඉහළ දැමීමට සිදුවෙනවා. ඒ වෙනුවෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ඔබ මොකද කියන්නෙ?

අපේ ආහාර අපි නිෂ්පාදනය කරගැනීම වැදගත් වගේම එය අවශ්‍යයි. මේ වගේ අර්බුදයකදී ඒ වටිනාකම හොඳින්ම දැනෙනවා. එය තේරුම් ගනිමින් ගෙවතු වගාවේ පටන්ම කෘෂිකාර්මික අංශයේ, “සෞභාග්‍යා” වැඩපිළිවෙළ දියත් කෙරුණා. ඊට හොඳම මට්ටමින් ප්‍රතිචාර ලැබෙනවා. වගාවන් සඳහා අවශ්‍ය බීජ, පොහොර වගේම වගා හානි සඳහා රක්ෂණ, නිෂ්පාදන අලෙවි කරගැනීමේ පහසුකම් වගේම බැංකු ණය ආදී පහසුකම් ද මේ යටතේ සැලසෙනවා.

නිෂ්පාදන විවිධාකාර වීම, එකම බෝග වගාකර අතිරික්තයක් ඇතිවීමට වඩා වෙළෙඳපොළ වුවමනාවන්ට සරිලන ආකාරයෙන් එම වගා සඳහා යොමුවීම ආදී වශයෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් වෙන්නෙ.

• අවශ්‍ය මෙන්ම අනවශ්‍ය භාණ්ඩ, අපේ රටේ වගාකළ හැකි ආහාර‍ බෝග ආදිය පවා පිටරටින් ගෙන්වීම අවම කර ගැනීමට ගත් ක්‍රියාමාර්ගවල වැදගත්කම කෙබඳුද?

එය අත්‍යවශ්‍යයි: ඇතැම් ඒවා ආනයනය නතර කිරීම හා මෙහි වගාකිරීම, නිෂ්පාදනය වගේ පියවර ගැනීමට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමට සහනදායක ණය ක්‍රම ආදී පහසුකම් හඳුන්වා දී තිබෙනවා.

අපනයන ක්ෂේත්‍රයේ අප උපයන ආදායම් අත්‍යවශ්‍ය නොවන ආනයනවලට යටවීම වළක්වා ගැනීමටත් මේ ක්‍රියාමාර්ග වැදගත්. සංචාරක ව්‍යාපාරයේ පසුබෑමක් තියෙන අතර වුණත් තේ සඳහා හොඳ මිලක් ලැබෙනවා නම්, තෙල් මිල පහළ මට්ටමක තියෙන අතර, රටට විනිමය ලැබෙන මාර්ග සීමාවෙලා තිබියදී අනවශ්‍ය විදිහට රටින් පිටට විනිමය ඇදීයාම වළක්වාගත හැකිනම් අපට මේ පියවරවලින් ශක්තියක් ලැබෙනවා. අපේ ආර්ථිකයේ ගෙවුම් ශේෂය පිළිබඳ ඇති හිඟය පාලනය කරගැනීමටත් මෙය වැදගත්.

• රජය මඟින් දේශීය ව්‍යවසායකයින්ට විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර සඳහා ලබාදෙන සහන බැංකු මඟින් එයාකාරයෙන්ම නොලැබෙන බවට නැ‍ඟෙන මැසිවිලි ගැන කළ හැක්කේ කුමක් ද?

රජය ඒ ප්‍රතිපත්තිමය තීන්දු ගත්තාම රාජ්‍ය හා පුද්ගලික බැංකු ඒ පහසුකම් ජනතාවට ලබාදිය යුතුයි. ඒ පිළිබඳ මහ බැංකුව විපරම් කරනවා. ණය මුදල් ආදිය ලබාදීමේදී ඇපකර ඉල්ලා සිටීම බැංකුවල පිළිවෙතක්. ඔවුන් යම් සුරැකුමක් බලාපාරොත්තු වෙනවා. එසේ වුවත් ණය සඳහා සහනදායක පොලී අනුපාත වගේ නොයෙක් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා.

• මේ වනවිට මැතිවරණය පැවැත්වීම පිළිබඳ කාරණය අධිකරණයට ගොස් තිබියදී එම අධිකරණ කටයුත්ත ගැන නොවුණත්; මැතිවරණය ගැන විපක්ෂය පවසන කාරණා ගැන ඔබේ ප්‍රතිචාරය කෙබඳු ද? 

විපක්ෂය කියන කාරණාවල පරස්පරයක්නෙ තියෙන්නෙ. ආණ්ඩුව මුදල් අච්චුගහනවා කියනවා. රුපියල් 5000/=ක් දීල මදි කියනවා. ඒ දෙන සහනයත් පගාවක් කියනවා. ඡන්ද තියන්න හදන්නෙ මිනිස්සු මැරෙන එක ගැන නොසිතා කියනවා. මේ හැමදේකම ඇත්තෙ පරස්පරයක්. මේ වසංගතය හමුවේ නිරෝධායන වැඩපිළිවෙළට, රෝගීන්ට ප්‍රතිකාර කිරීමට, කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ආදී වශයෙන් වියදම් දරන අතර සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ඒ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින්ම මැතිවරණය පැවැත්වීමත් කළ යුතුයි. ඊට ඒ වියදම දරන්න වෙනවා.

ජූලි අග හෝ අගෝස්තු මුල මැතිවරණය පැවැත්වීමට ඉඩ තියෙනවා. කොහොමටත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩු විභාග ඇරැඹුණු පළමු දිනයේම මැතිවරණ පැවැත්වීමට අදාළ රාජකාරි කිරීම මැතිවරණ කොමිසම සතු අයිතියක් බව කියා සිටියා. සෞඛ්‍ය බලධාරීන්ගෙන් විමසා මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම ඉදිරි දිනවල සිදුවේවි. එවිට ඔය ප්‍රශ්නය අවසන් වෙනවා.

• කොරෝනා වසංගතයත් සමඟ ලෝකයටම මෙතෙක් ආ ගමන්මඟ හැ‍රවුමකට ගැනීමට සිදුවෙනවා. රටට නව නායකත්වයක් තෝරාගෙන තිබියදී සහ ඉදිරි මහ මැතිවරණයෙන් ඒ වැඩපි‍ළිවෙළ පෙරට ගෙනයාමට හැකි පාලනයක් බිහිකර ගැනීමත් සමඟ අපේ රටට අදාළව ඊට ඇති යොමුවීම ඔබ දකින්නේ කෙසේ ද?

2015 වනවිට අපේ දළ දේශීය නිෂ්පාදනය ඇ. ඩො. බිලියන 79ක මට්ටමට ළඟාවී තිබුණා. පසුගිය රජය අවුරුදු 5 ටම ඒක වැඩිකළේ ඇ. ඩො. බිලියන 85 දක්වා පමණයි. ඒකපුද්ගල ආදායම 2015 වනවිට එය සතුටුදායක වර්ධනයක් අත්කරගනිමින් තිබුණා. එතැන් සිට ඇතිවූ පසුබෑම් වගේම කොරෝනා වසංගතයත් සමඟ එල්ලවෙන අභියෝගවලටත් මුහුණදෙමින් රටේ ආර්ථිකය ඉහළට ගැනීමටත්, ජන ජීවිත ඉහළ මට්ටමකට ගැනීමටත් අවශ්‍ය සැලසුම් හා වැඩපිළිවෙළ වගේම ඒ නිසි දැක්ම මේ නායකත්වයට අපේ රජයට තියෙනවා. අපේ දැක්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්.

එහිදී නවෝත්පාදන, පර්යේෂණ ආදියටත් ප්‍රමුඛත්වයක් හිමිවෙනවා. මේ වසංගතය හමුවේත් නව නිර්මාණ හඳුන්වාදෙනු අපි දුටුවා. ජලසම්පාදන ක්ෂේත්‍රය ගත්තොත් ජලනළවල ඇතුළත මළකඩ කපාදැමීමට රොබෝ තාක්ෂණය සාර්ථකව යොදා ගැනීමට අපේ තරුණයකු සමත්වී තිබෙනවා. එවැනි අයට ඊර්ෂ්‍යා නොකර ඔවුන් දිරිගැන්විය යුතුයි. ඉංජිනේරුවන් වුණත් මෙවැනි අයගෙන් ඵලදායීව වැඩක් ගැනීම ගැන කල්පනා කළ යුතුයි කියන එකයි මගේ නම් අදහස. සෑම ක්ෂේත්‍රයකම සිටින ඒ දක්ෂයන්ගේ හැකියාවන්ට තැනක් ලැබිය යුතුයි.

නව අදහස දක්වන්න