කොමිසම ස්වාධීන ද? | දිනමිණ


 

කොමිසම ස්වාධීන ද?

රටක විපත්තිදායක අවස්ථාවක දී පක්ෂ - විපක්ෂ දේශපාලන ව්‍යාපාර එක මතයක සිට ක්‍රියාකිරීමත් නායකයන් සුහද ව ගනුදෙනු කිරීමත් ශිෂ්ට දේශපාලන සංස්කෘතියක කැපී පෙනෙන ලක්ෂණය වෙයි. මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු ඉතිහාසය නිරීක්ෂණය කරන කෙනකුට මීට අදාළ ආදර්ශ උපුටා ගත හැකි ය. එහෙත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මොඩලය සේ ම එහි නායකයන්ගේ චරිතා'දර්ශ මහ ඉහළින් උපුටා දක්වන නායකයන් ශ්‍රී ලංකාවේ සිටියත්; එම ආදර්ශ අනුගමනය කරන බවක් පෙනෙන්නට නැත. දේශපාලන නායකයන් පමණක් නො ව; ඇතැම් ආයතන පවා ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම උල්ලංඝනය කරමින් යැයි කියන්නට පුළුවන.

ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම හා එහි ප්‍රධානීන් මේ දිනවල පුරවැසි විවේචනයට ලක් වෙයි. එහි ඇතැම් ප්‍රධානීන්ගේ හැසිරීම ගැන මහජනයාගේ දැඩි විවේචන තිබේ. මැතිවරණ කොමිසම ස්වාධීන ද යන ගැටලුව ද සංවාදයට ලක් වෙයි. කොමිසමට තනි ස්වාධීන මතයක් නැති බව ද පෙනී ගොස් තිබේ. කොමිසමේ සභාපතිවරයා එක මතයක සිටින අතර එහි ප්‍රධානියකු වන මහාචාර්ය හූල් වෙනත් මතයක සිටින බව ද පෙනෙන්නට තිබේ. මහාචාර්ය හූල්ගේ මත දැක්වීම් මෙන් ම ඔහුගේ හැසිරීම් රටාව ද බෙහෙවින් ගැටලුකාරී වෙයි. මෙබඳු තත්ත්වයක් යටතේ මැතිවරණ කොමිසම ස්වාධීන යැයි තහවුරු කරන්නේ කෙසේ ද?

රටේ දේශපාලන අවුලක් නිර්මාණය කිරීමට විපක්ෂයට වුවමනා වී තිබේ. ඇති කරනු ලබන සිදුවීම්වලින් ඒ බව සනාථ වෙයි. ජනාධිපතිවරයාගේ බලතල ප්‍රශ්න කිරීම, ව්‍යවස්ථාව සංවාදයට ලක් කිරීම, පරණ ව්‍යවස්ථාදායකය යළි රැස් කළ යුතු යැයි හඬක් නැඟීම, මැතිවරණය කල් තැබීමට උත්සාහ කිරීම වැනි සාධක ඔස්සේ ඒ බව තවදුරටත් පැහැදිලි කර ගත හැකි ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විපක්ෂයට ගැටලුවක් වී ඇති බව පෙනෙයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ නෛතික ප්‍රතිපාදනවලට අනුව ය. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් යළි කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නැතැ'යි නීතිපතිවරයා සඳහන් කර තිබේ. එසේ නම්; පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීමක් සිදුවන්නේ නැත.

පවතින විවාදාත්මක තත්ත්වය විසැඳිය හැකි එක ම උපාය මාර්ගය මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ය. එහෙත් විපක්ෂයේ අරමුණ මහ මැතිවරණය කල් තබා පරණ පාර්ලිමේන්තුව රැස් කිරීම ය. පරණ පාර්ලිමේන්තුවේ වැඩි බලය විපක්ෂයට තිබේ. එහෙත් එය නූතන ජන මතය නියෝජනය කරන්නේ නැත. පැවැති යහපාලන ආණ්ඩුව යනු මහජනයාගේ දැඩි දෝෂ දර්ශනයට හා විවේචනයට ලක් වූ රාජ්‍ය තන්ත්‍රයකි. එය රටේ ජාතික ආරක්ෂාව බිඳ දැමූ බවත්; ආර්ථිකය විනාශ කළ බවත්; මහජනයාගේ බදු බර වැඩි කළ බවත් වැඩි දෙනකුගේ මතය වෙයි. ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා බලවත් පරාජයක් හිමිකර ගන්නේ ද පැවැති ආණ්ඩුවේ බලවත් දුර්වලතා නිසා ය. මේ අයුරින් මහජන අප්‍රසාදයට ලක් වූ ව්‍යවස්ථාදායකයකට තාවකාලික ව හෝ නැවත බලයක් ලබාදීමේ අර්ථයක් තිබේ ද?

පවතින නෛතික ප්‍රතිපාදනවලට අනුව මැතිවරණය සම්බන්ධයෙන් තනි තීරණයක් මැතිවරණ කොමිසමට ගත හැකි ය. කොමිසම ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ ද යන්න ගැටලු සහගත ය. මේ අතර මහජනයා වෙතින් එල්ලවන චෝදනා කිහිපයක් ද පවතී. එක චෝදනාවකට අනුව කොමිසම ස්වාධීන නැත. තව චෝදනාවකට අනුව කොමිසම විපක්ෂයේ වුවමනාවන් ඉටු කිරීමට යයි. තවත් චෝදනාවකට අනුව කොමිසම රාජ්‍ය නො වන සංවිධානවල පදයට නට යි. රාජ්‍ය නො වන සංවිධාන ගැන ද මහජන විවේචන පවතී. රාජ්‍ය නො වන සංවිධාන යනු බටහිර මතයට අනුව මෙරට දේශපාලනය හැසිරවීමට වෑයම් කරන බළල් අණ්ඩකි යන්න වැඩි දෙනකුගේ අදහස වෙයි. රාජ්‍ය නොවන සංවිධානවල බලපෑමට පමණක් නොව; කිසිදු බලපෑමකට කොමිසම යටත් විය යුතු නැත.

දැන් අපට දැකගන්නට ලැබෙන්නේ දේශපාලන ගැටුම් නිර්මාණය කොට ජනාධිපතිවරයා හා රජය දුර්වල කිරීමේ වැඩපිළිවෙළකි. දේශපාලන ගැටුම් හා ආරවුල් හැමවිට ම රටක ඉදිරි ගමන වළක්වයි. ආර්ථිකය දුර්වල කරයි. යහපාලන ආණ්ඩුව තුළ විධායකය එක පැත්තකත් ව්‍යවස්ථාදායකය තව පැත්තකත් ගමන් කරනු දක්නට ලැබිණි. වසර පහකට ආසන්න රාජ්‍ය පාලන සමය ගෙවී ගියේ රටට බලවත් පරිහානියක් ඇති කරමින් ය. ජාතික ආරක්ෂාව බිංදුවට ම පිරිහිණි. ආර්ථිකය දිනෙන් - දින පහළ ගියේ ය. 2014 දී වාර්ෂික ආර්ථික වෘද්ධිය 7.2%ක් වූ අතර 2019 අග භාගය වන විට එය 1.2% ලෙස සටහන් වී තිබිණි.

කොරෝනා වසංගතය හමුවේ සමස්ත ලෝකය ම අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටී ඇති අතර එයින් ගොඩයෑමේ ක්‍රමවේද එකිනෙක රටවල් සොයා ගත යුතු ව තිබේ. ශ්‍රී ලංකාවට මේ තත්ත්වය තුළ අලුත් උපාය මාර්ග සොයා යෑමට සිදු වී තිබේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වසංගතයට මුහුණ දෙන ආකාරය මෙන් ම ආර්ථිකය යළි සක්‍රීය කිරීමට ගනු ලබන උපාය මාර්ග ද ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වී ඇත. ඉන්දියාව, චීනය පමණක් නො ව; ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒවා අගය කර තිබේ. අපට ඇති එක ම විකල්පය එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම පමණි.

නව අදහස දක්වන්න