කොළඹ සිටි ලීගයේ ක්‍රීඩා සමාජ 23කට රු. ලක්ෂ 20ක සහනාධාර බෙදයි | දිනමිණ


 

කොළඹ සිටි ලීගයේ ක්‍රීඩා සමාජ 23කට රු. ලක්ෂ 20ක සහනාධාර බෙදයි

ප්‍රින්ස් ගුණසේකර

කොරෝනා වෛරසය හේතුවෙන් කරදරයට පත්වූ කොළඹ සිටිලීග් පාපන්දු සමාජයේ ක්‍රීඩා සමාජ 23ක් අතර රුපියල් ලක්ෂ 20ක් බෙදා දෙයි. අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම තරගාවලියට සහභාගීවන ක්‍රීඩා සමාජ 4කට රුපියල් ලක්ෂ 3 බැගින්ද පළමු පෙළ ක්‍රීඩා සමාජවලට හා දෙවැනි පෙළ ක්‍රීඩා සමාජ අතර මෙම මුදල් බෙදාදීම සිදු කෙරුණි. කොළඹ සිටිලීග් පාපන්දු සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතාගේ ආරාධනාවෙන් පාපන්දු සභාපති අනුර ද සිල්වා, විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි හා සිටිලීග් ජ්‍යෙෂ්ඨ උප සභාපති එම්. ප්‍රේමදාස යන මහත්වරු අතින් මෙම පරිත්‍යාග පෙරේදා සිටිලීග් පිටියේදී සිදුකෙරුණි.

මෙහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා පැවැසූවේ පාපන්දු ක්‍රීඩාව යළි ආරම්භ කිරීමට ඉතා ඉක්මණින් පියවර ගන්නා බවය. “කොරෝනා හේතුවෙන් ලොව පුරා පාපන්දු ක්‍රීඩාව වැටිලා. එවැනි වේලාවක ලෝක පාපන්දු සම්මේලනය අපට අවසර දුන්නා අපේ පාපන්දු පවුල අතරේ සමාජ සුබසාධන කටයුත්තක් කිරීමට. මා දෙවැනි වටයේත් යම් සමාජ සුබ සාධනය කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. ඒ සදහා දැනටමත් ලෝක පාපන්දු සම්මේලනයේ යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා“ පාපන්දු සභාපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලෝක පාපන්දු සම්මේලනයෙන් වාර්ෂිකව ලැබෙන මූල්‍ය ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 2ක් කො⁣රෝනා වසංගතයෙන් පීඩාවට පත්වූ හා ආර්ථික අතින් අපහසුතාවට පත්වූ ශ්‍රී ලංකා පාපන්දු පවුල අතරේ බෙදාදී ඇති අතර එයට සමගාමීව මෙම කටයුත්ත සංවිධානය විය. එලෙස දැවැන්ත මුදලක් සුබ සාධනය වෙනුවෙන් ක්‍රීඩා සමාජ හා ක්‍රීඩකයින් අතර බෙදාදෙන පළමු අවස්ථාව ලෙස මෙය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයට එක්වෙයි.

මෙම රුපියල් කෝටි දෙක රටපුරා ඇති පාපන්දු ලීග් 64කට, අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට සහභාගීවූ පාපන්දු ක්‍රීඩා සමාජ 17කට, පළමු පෙළ තරගාවලියට එක්වූ ක්‍රීඩා සමාජ 19කට හා එදා මෙදාතුර ජාතික පාපන්දු පිල නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විනිශ්චයකරුවන් විශාල පිරිසක් අතර බෙදාදීමට නියමිතය. මෙයට අමතරව වයස අවුරුදු 19න් පහළ පාපන්දු සංචිතයේ ක්‍රීඩකයින්ට ද මුදලින් ආධාර ලබාදීමට සූදානමින් සිටී.

නව අදහස දක්වන්න