අනේ අපිව ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න | දිනමිණ


 

අනේ අපිව ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න

ඩුබායිවල අසරණ වූ ලාංකිකයන් 46කගෙන් ආයාචනා

මාස දෙකකට ආසන්න කාලයක් කිසිවක් කරකියා ගත නොහැකිව තම වීසා බලපත්‍රද අවලංගු වී අසරණභාවයට පත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකිකයෝ හතළිස්හය දෙනකු පවසා සිටිති.

මේ පිළිබඳව කිහිපවරක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කළද මෙතෙක් ඊට කිසිදු පිළිතුරක් ලැබී නැතැයි ඔවුහු පෙන්වා දෙති.

තමන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉතා කාරුණිවක ඉල්ලා සිටින අතර මෙම පිරිස ශ්‍රී ලංකාව තුළ පවතින නිරෝධායන නීති ප්‍රකාරව අවශ්‍ය ඕනෑම කාලයක් නිරෝධායනය වීමට කැමති බවද ඔවුහු පවසති.

තමන්ට මුහුණපෑමට සිදුව ඇති තත්ත්වය පිළිබඳ පුබුදු සමන්ත මහතා මෙසේ පවසා සිටියේය.

මගේ ගම අම්බලන්ගොඩ. ඩුබායි ගුවන්තොටුපළේ සේවය කරමින් ඉන්නකොට කොරෝනා වෛරසය හේතුවෙන් මාර්තු 25 මට රැකියාව අහිමි වුණා. දැනට මාස දෙකකින් ගෙදරටවත් සල්ලි යවල නෑ. මම විවාහකයි. දරුවන් දෙන්නෙක් ඉන්නවා. මම වගේම ගෙදර අයත් ගොඩක් අසරණයි මේ වෙලාවේ. රැකියාව නැති නිසා සෞඛ්‍ය රක්ෂණ ආවරණයත් අපිට දැන් නෑ. ඒකත් ලොකු අවදානමක්. මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නෙ අපිව ඉක්මනටම ලංකාවට ගෙන්න ගන්න කියලා.

අනූෂා ප්‍රියදර්ශනී මහත්මිය.

මම 2015 තමයි ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රැකියාවට ආවේ. මට මාර්තු 26න් පස්සෙ රැකියාව නැතිවුණා. දැනට අප්‍රේල් මාසෙ ඉඳන් අපිට වැටුප් ලැබුණෙ නැති නිසා ජීවත්වෙන්නෙ ගොඩක් අමාරුවෙන්. මම විවාහක කාන්තාවක්. මම වගේම මගේ ගෙදර අයත් අද ගොඩක් අසරණයි.

ඩුබායි ගුවන්තොටුපළේ සේවයේ නියුතුව සිටි අශේලා රාජිණි මහත්මියද අදහස් දැක්වූවාය.

මම 2015 වර්ෂයේ ගුවන්තොටුපළේ රැකියාවට ආවෙ. මුළු ලෝකයටම බලපෑ මෙම වසංගතය නිසා මාර්තු 26න් පස්සෙ අපිට රස්සාව නැතිවුණා. ඉන් පසුව අද වෙනකම් අපිට කිසිම වැටුපක් මෙහෙන් ලැබුණෙ නෑ. මම ලංකාවෙදි ගත්ත ණය වගයක් සහ මාසික කුලී ගෙවීම් හේතුවෙන් තමයි මේ රැකියාවට ආවෙ. දැන් අපිට ඒව ගෙවාගන්නත් බැරි වෙලයි තියෙන්නෙ. මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නෙ අපිව ඉක්මනටම ලංකාවට ගෙන්නගන්න කියලයි.

ගයාන් සංජය සහ මාරවිල සමූහ මිහිර විජේසේකර

නව අදහස දක්වන්න