විසුරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තුව අවසන් වූවක් සේ සැලකීම ලෝක සම්ප්‍රදායක් | දිනමිණ

විසුරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තුව අවසන් වූවක් සේ සැලකීම ලෝක සම්ප්‍රදායක්

නෙල්කා මැදගෙදර

ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කියයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එම පාර්ලිමේන්තුව අවසන් වූවක් ලෙස සැලකීම ලෝක සම්ප්‍රදායක් වන බැවින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමක් ලෝකයේ කිසිඳු රටක් සිදු කරන්නේ නැතැයි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ (27) ප්‍රකාශ කළේ ය. මාර්තු මස 02 දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මස 20 දින පැවැත්වීමට අදාළ ව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් හත්වැනි දිනටත් සලකා බලන අවස්ථාවේ දී නීතීඥවරයා මේ බව පැවසුවේ මැදිහත් පාර්ශව පෙත්සම්කරුවෙකු වෙනුවෙන් කරුණු දක්වමිනි.

මෙම සියලු ම මූලික අයිතිවාසිකම් පෙත්සම් පදනම් විරහිත කරුණු මත ඉදිරිපත් කර ඇති බැවින් එම පෙත්සම් විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස මැදිහත් පාර්ශව පෙත්සම්කරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ජනාධිපති නීතිඥවරු කිහිප දෙනෙකු ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ආබ්රූ,පියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය තවදුරටත් කරුණු ඉදිරිපත් කලාය.

ඉන් අනතුරුව මැදිහත් පාර්ශව පෙත්සම් කරුවකු වන එන්.ඩී.වයි.නාගස්හේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා කරුණු ඉදිරිපත් කලේය. විසුරුවා හරින ලද පාර්ලිමේන්තු වක් නැවත කැඳවන ලෙස ජනාධිපති වරයා ට නියෝග කිරීමට කිසිවකුට නොහැකි බවද, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව හදිසි තත්ත්වයකදී මිස වෙනත් අවස්ථාවක දී එලෙස පාර්ලිමේන්තු ව කැඳවිය නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

මැදිහත් පාර්ශව පෙත්සම් කරුවකු වන මහාචාර්ය පණ්ඩුල ඇදගම මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දුන්නේ මෙම පෙත්සම් වල දෝෂ ඇති බවය. වගඋත්තර කරුවන් සිදු කර ඇති වරද කවරේද යන්න සදහන් කිරීම මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනිවාර්ය අංගයක් වන නමුත් මෙම පෙත්සම් වල එවැන්නක් සදහන් නොවන බව ඒ මහතා කීය.

මැදිහත් පාර්ශව පෙත්සම් කරුවකු වන ජීවන් ත්‍යාගරාජා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා සිය කරුණු දැක්වීම ආරම්භ කලේය.

ඉකුත් මාර්තු මස පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය අපේල මස25 දින පැවැත්වීමට නියමිතව තිබූ ණි. එහෙත් කෝවිඩ් වසංගත ය පැතිරී ඇති නිසා එදින මැතිවරණ පැවැත්වීමට නොහැකි බව සදහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස20 දින පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණයකරන ලදී.

එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට ද පෙත්සම් මගින් පැමිණිලි කර තිබුණි. එබැවින් මෙම මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමට අදාළ ව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා ඇත.

පෙත්සම් වැඩි දුර සලකා බැලීම අද (28)ට කල් තැබිණි.

නව අදහස දක්වන්න