නොරෝනාවෙන් බැට කන ස්පාඤ්ඤය | දිනමිණ


 

නොරෝනාවෙන් බැට කන ස්පාඤ්ඤය

ලොව වේගයෙන් කොරෝනා වසංගතය ව්‍යාප්ත වූ රටවල් අතර ස්පාඤ්ඤය ඉදිරියෙන්ම සිටියි. ඒ රටේ ඉහළ මරණ අනුපාතයට හේතූන් ලෙස විද්වත්තු කාරණා රැසක්ම පෙන්වා දෙති. සමාජයක් දියුණුවට පත් වන විට එහි වැසියන්ගේ ජීවිත අපේක්ෂාව ඉහළ යයි. ඒ සමාජ සුබසාධනය ඉහළ නිසාය. මෙවැනි රටක ජීවත් වන වැඩිහිටි ප්‍රතිශතය ඉහළය. ස්පාඤ්ඤයේ ද වැඩිහිටි ප්‍රතිශතය ඉහළය.

කොරෝනා වසංගතය ස්පාඤ්ඤයේ වැඩිවීමට බලපාන ප්‍රධාන කාරණයක් ලෙස එරට වැඩිහිටි ජනගහනය වැඩිවීම පෙන්වා දී ඇත. වැඩිහිටියන්ට රෝග වැළැඳීමට වැඩි නැඹුරුවක් පැවැතීමට හේතුව ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණය දුර්වල වීමයි. වැඩිහිටියන් වැඩි වශයෙන් දිවිගෙවන වැඩිහිටි නිවාසවල සෞඛ්‍ය සම්පත් ප්‍රමාණවත් තරම් නොපැවැතීම එහි ජීවත් වන වැඩිහිටියන්ගේ ජීවිතවලට අනතුරුදායක වේ.

සුබසාධනය ඉහළ මට්ටමක පැවැතුන ද එරට පවතින්නේ දුර්වල සෞඛ්‍ය පද්ධතියකි. එකවරම පැමිණි කොරෝනා වසංගතයට රටක් ලෙස සූදානමක් සහ ප්‍රතිවාදීව කටයුතු කිරීමක් ස්පාඤ්ඤයෙන් දක්නට නොලැබිණැයි නවාරා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය සහ රෝග වැළැක්වීමේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සිල්වියා කාලෝස් කීවාය.

එරට මහජන සෞඛ්‍ය සේවයේ පවතින අසමතුලිතතාවන් සහ සම්පත් හිඟය නිසා සෞඛ්‍ය සේවයේ නිරත සියයට 16.5කට කොරෝනා ආසාදනය වී ඇත. ආසාදිත සංඛ්‍යාව වේගයෙන් වැඩිවන විට එයට එරෙහිව සටන් කිරීමට තිබෙන මානව සම්පත් සහ භෞතික සම්පත් හිඟ වීම ප්‍රශ්නය තවත් වර්ධනය කරන්නකි. පසුව වෙන්ටිලේටර සහ මුව ආවරණ ආදී අවශ්‍ය ආරක්ෂක උපකරණ මිල දී ගැනීමට රජය යුරෝ මිලියන 845ක් වෙන් කළ බව එරට සෞඛ්‍ය ඇමැතිවරයා කීවේය. එරට රෝහල්වල මෙවැනි අර්බුදයකට ප්‍රමාණවත් තරම් සනීපාරක්ෂක ද්‍රව්‍ය නොතිබුණු බව ද විශාල ප්‍රශ්නයක් ලෙස බලපා ඇත. ප්‍රශ්නය වර්ධනය වී අර්බුදයක් නිර්මාණය වන තෙක් වයිරසය කුමක්දැයි කියා ප්‍රමාණවත් තරම් දැනුවත් කිරීම් සිදු කර නොතිබුණු බව කොර්ඩෝබා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා සහකාර මහාචාර්ය ජොස් හර්නැන්ඩස් කියයි.

ආණ්ඩුවේ පොදු සෞඛ්‍ය පහසුකම්වල කොරෝනා කළින් හඳුනාගැනීමට පහසුකම් පැවැතියේ අල්ප වශයෙනි. මධ්‍යම ආණ්ඩුව රෝගය සම්බන්ධව සිදු කෙරුණු සෞඛ්‍ය පුරෝකථන ප්‍රමාණවත් තරමින් සිදු වූයේ නැතැයි ද මේ සියල්ලම ආකෘතිමය දුර්වලතා යැයි ද මහාචාර්ය ජොස් කීවේය.

වෛද්‍ය වෘත්තිකයින්ට හැකි ඉක්මනින් අවශ්‍ය තරම් ආරක්ෂිත උපකරණ ලබාදෙන ලෙස ඉල්ලමින් එරට ප්‍රධාන වෛද්‍ය වෘත්තීය සමිතිය වන CESM ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීය. වසා දැමීමට ගරු කළ ජනතාව සුළු රෝගවලට ප්‍රතිකාර ගැනීමට රෝහල් වෙත ආවේ නැත. එසේ නොවුණා නම් අවදානම මීට වඩා වැඩි විය හැකිය.

වසංගතය පැතිර යාමත් සමඟ චීනයෙන් පරීක්ෂණ කට්ටල මිලියන ගණනක් මිල දී ගත්තත් ඒවා බහුතරයක් දෝෂ සහිත බව අනාවරණය විය. පසුව වඩාත් විශ්වාසනීය උපකරණ කට්ටල මිල දී ගත්තත් කළින් ඒවායින් ලැබූ දත්ත නිවැරැදි නැත. පීසීආර් පරීක්ෂණ සිදු කිරීම රෝගය හඳුනාගැනීමට ඇති විශ්වාසදායකම ක්‍රමයයි. ස්පාඤ්ඤයේ දිනකට පීසීආර් පරීක්ෂණ 20,000ක් සිදු කරයි. පරීක්ෂණ පැවැත්වීමට පහසුකම් නොමැති විට වඩාත් විශ්වාසදායකම ක්‍රමය වන්නේ දුරස්ථීකරණය සහ පිරිසුදු කිරීමයි. කළින් හඳුනාගැනීම ප්‍රමාද වීම මේ රෝගය පැතිරීමට බලපාන තවත් හේතුවකි.

 

නව අදහස දක්වන්න