අපි හැම වෙලාවෙම උත්සාහ කළේ නිවැරදි ආදර්ශය රටට දෙන්නයි | දිනමිණ


 

අපි හැම වෙලාවෙම උත්සාහ කළේ නිවැරදි ආදර්ශය රටට දෙන්නයි

අසේල කුරුළුවංශ

දියවඩන නිලමේ-ප්‍රදීප් නිලංග දෑල

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ පිළිගනු ලබන්නේ ගිහි බෞද්ධයින්ගේ නායකයා ලෙසිනි. වසර 2005 දී දියවඩන නිලමේ ධුරයට පත් ප්‍රදීප් නිලංග දෑල මහතා වසර 15 ක කාලයක් අඛණ්ඩව එම ධුරයේ කටයුතු කරනු ලබයි. කොවිඩ්-19 අර්බුදය හමුවේ රටේ පැන නැඟි ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඒ මහතා සමඟ කළ සංවාදයකි මේ.

* ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට දෛනිකව අති විශාල ජනතාවක් මහනුවර ශ්‍රී දළදා මැඳුරට පැමිණෙනවා. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ පසුගිය මාර්තු මස 20 දින සිට දළදා මාලිගාව වසා දමා තිබෙනවා නේද ?

දෙස් විදෙස් සංචාරකයින් අති විශාල පිරිසක් දෛනිකව ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලිය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිට අපි කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට සූදානම් වුණා. ඒ නිසා අපි සංචාරයකයින්ට අවශ්‍ය දැනුවත් කිරීම් නිතර කළා. මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කරන්න කියලා සෞඛ්‍ය අංශ දැනුවත් කරන්නත් කලින් අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගත්තා. විෂබීජ නාශක යන්ත්‍ර අපි දළදා මාලිගාවේ පිවිසුම් දොරටුවල සවිකළේ පෙබරවාරී මාසයේදීයි. විදේශීය සංචාරයකයින් සමඟ ඍජුව සම්බන්ධවන දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය මුහුණු ආවරණ, අත්වැසුම් සියල්ල අපි කල්තියා ලබා දුන්නා. මෙයට අමතරව අපි මාර්තු මාසේ 18 ඉඳලා 25 දක්වා රටට සෙත්පතා දළදා මාලිගාවේ දී සති පිරිතක් කළා.

ක්‍රමයෙන් රෝගය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව රජය ඇඳිරි නීතිය පනවා ජනතාවට නිවෙස්වල සිටින ලෙස දැනුම් දුන්නේ මාර්තු මාසේ 20 වෙනිදා. ඒ වනවිටත් අපි පිරිත් සජ්ජායනාව ආරම්භ කරලා තිබුණේ. ජනතා සහභාගිත්වයෙන් තොරව සතියක් පිරිත් සජ්ජායනාව සිදුකරද්දී ආවතේවකරුවන් කිසිවකුත් නිවෙස්වලට නොගොස් මේ කටයුත්තට කැපවුණා. අපි සෑම විටම සෞඛ්‍ය උපදෙස් අනුව තමයි කටයුතු කළේ. ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අපි මාර්තු 20 වෙනිදා වසා දැමුණු දළදා මාලිගාව තාමත් විවෘත කරලා නැහැ. දැන් රට ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතිනවා. ඇඳිරි නීති පැනවීමත් ලිහිල්කර තිබෙනවා. මහනුවර ඇඳිරි නීතිය දැන් සති දෙකක විතර ඉඳලා ඉවත්කරලා තිබුණත් රජය තාමත් ආගමික ස්ථාන විවෘත කරන්න කියලා දැනුම් දීමක් සිදුකර නැහැ. සෞඛ්‍ය අංශ ලබාදෙන නිර්දේශ අනුව ඉදිරියේ දී බැතිමතුන් සඳහා දළදා මැඳුර විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

* දළදා මැඳුර බැතිමතුන් සඳහා විවෘත නොකළත් දළදා වහන්සේ උදෙසා දෛනිකව සිදු කෙරෙන්නා වූ වත්පිළිවෙත් පෞරාණික චාරිත්‍රානුකූලව සිදු කෙරෙනවා නේද ?

දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන සියලු චාරිත්‍ර වතාවත් පෙර පරිදිම තේවාභාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය විසින් ඉටු කරනවා. තේවාවට අමතරව දළදා මාලිගාවේ කෙරෙන සෙසු කටයුතු අවම කාර්ය මණ්ඩලයකින් මේ දිනවල සිදු කෙරෙනවා. වාර්ෂිකව දළදා මාලිගාව මගින් දළදා වහන්සේ උදෙසා ප්‍රධාන මංගල්‍යයන් හතරක් පවත්වනවා. අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය ලෙසින් මේවා හඳුන්වනවා. මේ කොරෝනා ප්‍රශ්නය නිසා දළදා මැඳුර වසා තිබෙන කාලයේ දී තමයි අලුත් අවුරුදු උදාව සිද්ධ වුණේ. අපි ඉතා චාම්ලෙස අලුත් අවුරුදු මංගල්‍යය දළදා මාලිගාවේ දී ඉෂ්ට සිද්ධ කළා. දළදා වහන්සේ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස තමයි සලකන්නේ.

මේ බෞද්ධ රටේ නිවැරදි දේ කරලා අපි අනිත් අයට ආදර්ශයක් දෙන්න ඕන. මේ වෙලාවේ අපි සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන්න ඕන. ඒක සියලු රටවැසියන්ගේ වගකීමක්. මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි අපි ලෝකයටම ආදර්ශයක් වන ලෙස මේ කටයුතු කළා. වෙසක් පෙරහර දළදා මාලිගා චත්‍රරස්‍රයේ පවත්වන්න තිබුණා. ඒත් අපි වෙසක් පෙරහර දළදා මාලිගාවෙන් පිටතට ගෙනාවේ නැහැ. පෙරහර කරඬුව වැඩමකර වැඩසිටින මාලිගාව වටා පෙරහර පැවැත්වුවේ තේවාභාර භික්ෂූන් වහන්සේ ඇතුළු ඉතාම සුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.

අපි අපේ ආගමික උත්සව ලොකුවට සමරන්න ගියොත් සෙසු ආගම්වල අයත් ඔවුන්ගේ උත්සව වෙනදා විදිහට කරන්න පෙළඹෙනවා. අපි හැමවෙලාවෙම උත්සහ කළේ නිවැරදි ආදර්ශය රටට දෙන්නයි. සම්බුදු තෙමඟුල තමයි බෞද්ධයින් වන අප ලොකුවටම සමරන්නේ. අපි නිවෙස්වලට සීමා වී මෙවර තෙමඟුල සැමරුවා. සිංහල අලුත් අවුරුද්ද මෙවර අප ඉහළින් සැමරුවේ නැහැ.

* සමස්ත ලෝකයේම අවධානය යොමුවන හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් හඳුන්වන මහනුවර ශ්‍රී දළදා පෙරහර පෙර පරිදි විශාල ජන සහභාගිත්වයක් ඇතිව පවත්වන්න හැකිවේද යන ගැටලුව අප හමුවේ තිබෙනවා නේද ?

ඒ සම්බන්ධයෙන් මට අනාවැකි කියන්න බැහැ. පෙරහරට තව දින තිබෙනවා. ඒ නිසා අපි මේ පාර පෙරහර මංගල්‍යය කොහොමද කරන්නේ කියලා දැන්ම අදහසක් කියන්න අමාරුයි. පෙරහර සුපුරුදු පිරිදි පවත්වන්න හැකියාවක් තිබෙන බවට සෞඛ්‍ය අංශ වලින් නිර්දේශ ලබාදුන්නොත් අපි පෙරහර සුපුරුදු ලෙස පවත්වනවා. ඕනෑම තත්ත්වයකට අපිට වෙනස් වෙන්න පුළුවන්. පෙරහරේ ස්වභාවය එක දවසකින් අපිට වෙනස් කිරීම සම්බන්ධව ගැටලුවක් නැහැ.

සම්පූර්ණ පෙරහර කරන්නත් පුළුවන්. මධ්‍යස්ථව හෝ අඩු පිරිසකගෙන් පෙරහර කරන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් බව ලෝකයට කියන්න මේ මහනුවර පෙරහර තුළින් අවකාශ ලැබෙනවා. ඒ කොහොම වුණත් අපි මේ සම්බන්ධව තීන්දු ගන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ වැඩපිළිවෙළට පෙරහර මංගල්‍යය පැවැත්වීම තුළින් බාධාවක් නොවන බවට සෞඛ්‍ය අංශ ලබාදෙන නිර්දේශ මතයි. නීතියට රීතියට අනුගත වෙමින් මෙවර පෙරහර කිරීම තමයි මගේ බලාපොරොත්තුව.

* පසුගිය වසරේ අන්තවාදී ප්‍රහාරයක් රටට එල්ල වුණා. බෞද්ධයින් අතරත් අන්තවාදීන් සිටින බවට චෝදනා එල්ල වෙනවා. මේ ආගමික අන්තවාදය ගැන ගිහි බෞද්ධයින්ගේ නායකයා ලෙස ඔබ දරන්නේ කුමන මතයක් ද ?

අන්තවාදී අදහස් දරන ඉතාම සුළු පිරිසක් ඕනෑම ආගමක සිටිය හැකියි. බෞද්ධ දර්ශනයත් එක්ක නිවැරදි ලෙස ගොඩනැඟුණු අයෙක් කිසිම අවස්ථාවක අන්තවාදයට තල්ලු වෙන්නේ නැහැ. අන්තවාදය පෝෂණය කරනවාට වඩා අන්තවාදී අදහස් සමාජගත කරන්න ඇතැම් පිරිස් උත්සාහ කරන බවක් පෙනෙන්න තිබෙනවා. දේශපාලනඥයින් සුළු පිරිසක් ද මේ දේ කරනවා. තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගන්න ඇතැම් දේශපාලනඥයින් දුරදිග නොබලා කරන ප්‍රකාශ නිසා විශාල ගැටලු මතු වූ අවස්ථා තිබෙනවා. අන්තවාදී අදහස් සමාජගත කිරීමට අවශ්‍ය ඉඩ මේ අය හදාගන්නේ මාධ්‍ය තුළින්. ඒ ගැන මාධ්‍ය සැලකිලිමත් වෙන්න ඕන.

වර්තමානයේ අන්තවාදයට හිස එසවිය හැකි පසුබිමක් රටේ නැහැ. මොකද බුද්ධි අංශ විශාල වගකීමකින් ඉන්නේ. ආරක්ෂාව ලිහිල් වූ අවස්ථාවල තමයි අන්තවාදීන් හිස ඔසවන්නේ. දේශපාලනික හෝ සමාජිය වශයෙන් අද බොහෝ දුරට අන්තවාදය පාලනය වෙලා. මම හිතන්නේ ජනතාව අතරින් අති බහුතරයක් අන්තවාදය ප්‍රතික්ෂේප කරනවා. ජාති හා ආගම්වාදී අදහස් දරන දේශපාලනඥයින් කොයිතරම් දුරට ප්‍රතික්ෂේප වුණා ද කියන කාරණය පසුගිය කාලයේ අපට පැහැදිලිව දක්නට ලැබුණා.

* මේක සිංහල බෞද්ධ රටක් නොකියන හා එසේ කියන්නට බය දේශපාලනඥයින් මේ රටේ ඉන්නවා නේද ?

අපේ රටේ ඉතිහාසය දන්න කිසිම කෙනෙක් මේක සිංහල බෞද්ධ රට නෙවෙයි කියලා කියන්නේ නැහැ. අපි කවුරුවත් ඕපපාතිකව ජනිත වූ අය නොවෙයි. අපි හැමෝටම අම්මා තාත්තා ඉන්නවා. පරම්පරාවක් තිබෙනවා. ඒ ඔස්සේ අතීතයට ගියාම අපිට පුළුවන් බෞද්ධයින්ට මේ රටේ තිබූ අයිතිය කුමක්ද කියලා තේරුම් ගන්න. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි මේ රට ආක්‍රමණය කළා. මොවුන්ගෙන් රට මුදා ගන්න නායකත්වය දුන්නේ කවුද? එදා 1815 උඩරට ගිවිසුම මගින් ඉංග්‍රීසින් මේ රට යටත් කරගන්නකොට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු මහා බ්‍රිතාන්‍යයට දැනුම් දුන්නේ සිංහල බෞද්ධ පදනම තිබෙන තුරු මේ රට කඩා වෙන්කරන්න බැහැ කියලයි. මේක අපි තේරුම් ගන්න ඕන.

* ලෝකයේ බලගතු රටවල් වලට මේ කොරෝනා වෛරසය පාලනය කරගන්න නොහැකි වී තිබෙනවා. ඒ රටවල විශාල වශයෙන් ජනතාව වෛරසයට ගොදුරුව මියයනවා. අපට බොහෝ දුරට මේ ව්‍යසනයෙන් මිදෙන්න හැකිවීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක් නේද ?

බටහිර රටවල මේ වෛරසය විශාල ලෙස පැතිර ගියේ ජනතාව තුළ හික්මීමක් නොමැතිකම නිසයි. බෞද්ධ පරිසරයක හැදී වැඩුණු මේ රටේ ජනතාවට මේ හික්මීම හොඳින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන් නිසි නායකත්වය ලබාදෙමින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහාය උපරිමයෙන් ලබා ගනිමින් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම රෝග ව්‍යාප්තිය පාලනය වීමට හේතු වුණා. මම හිතන්නේ ජනතාවගෙන් ඒ සඳහා ලැබුණු සහයෝගය ඉතා ඉහළයි.

ජනතාව නොහික්මුණු ආකාරයට කටයුතු කළා නම් මොන ආකාරයෙන්වත් මේක ව්‍යාප්ත වීම වළක්වන්න බැහැ. මේ වෛරසය හොඳින්ම පාලනය කළ රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නට හැකි වී තිබෙන්නේ මේ සියලු දෙනා කළ කැපවීම් නිසයි. නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් සැකසහිත සියලු දෙනා ඒවාට යොමු කරමින් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආණ්ඩුව දියත් කළා. ජනපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු පිරිස කණ්ඩායමක් විදිහට වැඩකරනවා අපි දැක්කා. නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යන අය ප්‍රකාශ කරන දේවල් වලින් ඔවුන්ට එම ස්ථානවලදී ඉතාම හොඳින් සත්කාර කර තිබෙන බව පේනවා. අද වනවිට කොරෝනා මර්දනය සම්බන්ධයෙන් රජය ගෙනගිය වැඩපිළිවෙළ කවුරුවත් විවේචනය කරන්නේ නැහැ. ඇත්තටම එහි විවේචනය කරන්න දෙයක් නැහැ.

ජාත්‍යන්තරයෙන් පවා ජනපතිවරයාට මේ සම්බන්ධයෙන් පැසසුම් හිමිවුණා. අමෙරිකාවේ මොන තරම් ප්‍රශ්න ද? රටේ නායකයා බරපතළ ලෙස විවේචනය කරනවා. ජනතාව පිල් බෙදිලා. එංගලන්තය ගත්තොත් රජ පවුලත් කොරෝනාවට ගොදුරු වුණා. අගමැතිවරයා දැඩි සත්කාර ඒකකයට පවා ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නා. අපි රටක් ලෙස අවදානම තේරුම් ගත්තා. ආර්ථික අතින් ශක්තිමක් රටක් නොවුණත් අපි සේවාවන් නිසි ලෙස පවත්වාගෙන ගියා.

වෙන රටවල ආහාර ගන්න මොනතරම් පෝලිම් තිබුණ ද? ගමන් බිමන් සීමා කළාට කවුරුවත් කන්න බොන්න නැතුව මැරුණේ නැහැ. විදුලිය, ඉන්ධන, ගෑස්, බෙහෙත් මේ මොනවත් හිඟ වුණේ නැහැ. එංගලන්තයට ඔක්සිජන් නැතිවුණා. ඒ ගෞරවය අපි ජනාධිපතිතුමාට හා රජයට ලබා දෙන්න ඕන. සමහරු හැබැයි කටක් ඇරලා ඒක කියන්න අකමැතියි. දේශපාලනයෙන් තොරව අපිට මේකේ හොඳ දකින්න පුළුවන් වෙන්න ඕන. සමහරු හිතුවේ ආහාර හිඟයක් ඇතිවෙලා කොස් දෙල් කන්න වෙයි කියලා. ඒත් දළදා හාමුරුවන්ගේ පිහිටෙන් රට ඒ තත්ත්වයට ගියේ නැහැ.

* දේශීය ආර්ථිකයක් ගොඩනඟාගැනීම කොතරම් දුරට වැදගත් ද කියන කාරණය මේ අර්බුදයත් සමඟ හැමෝටම තදින් දැනී තිබෙනවා නේද ?

පැහැදිලිවම ඒක හොඳ තත්ත්වයක්. ආනයනික භාණ්ඩ මත අපි විශාල ලෙස යැපුන රටක්. මේ භාණ්ඩ ආනයනය කිරීමට අපේ විදේශ විනිමය විශාල ලෙස වැයකරන්න සිද්ධවෙලා තිබුණේ. අපේ රටේ වගා කළ හැකි ආහාර ද්‍රව්‍ය පවා අපි පිටරටින් ගේන තත්ත්වයකට පත්වෙලා හිටියේ. මේ වසංගත තත්ත්වයත් එක්ක ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති වුණා. පුරන් කුඹුරු අස්වද්දන අතරතුර කුඩා බිම් ප්‍රමාණයක් පවා වගාවක් කරන්න ජනතාව උනන්දු වුණා.

රටක් ලෙස ඉදිරියට යන්න නම් අපි දේශීය ආර්ථිකයක් ගොඩනඟා ගත යුතුයි. ඒක පුද්ගල ආදායම, දළ දේශීය නිෂ්පාදනය වගේ දේවල් ගැන පවා ජනතාව උනන්දු වුණා. මොනවද ආනයනය කරන්නේ, මොනවද අපනයනය කරන්නේ, ආනයනවලින් අප ලබන ආදායම කොච්චර ද, අපනයනය කරන්න අපි කොච්චර මුදල් වැය කරනවාද, කියන කාරණා ගැන ජනතාව උනන්දු වුණා. දළ ජාතික නිෂ්පාදනය ඉහළ නංවන්න අපේ දායකත්වය අපි කොහොමද දීලා තියෙන්නේ කියලා අපිටම හිතන්න පසුබිම මේ ඔස්සේ ඇති වුණා. ආනයනය සීමා කරන්න නම් අපිත් දායකත්වයක් ලබාදිය යුතුයි කියන හැඟීම ජනතාව තුළ ඇතිව තිබෙනවා. ඒක රටේ ඉදිරි ගමන ශක්තිමත් වීමට හේතුවක් වේවි. ලංකාවේ පවුල් වශයෙන් ගත්තොත් මිලියන 07 ක් පමණ ඉන්නවා. එක පවුලක් වගාවක් තුළින් රුපියල් 1000 ක් මාසෙකට ඉතුරු කරගත්තා කියලා හිතන්න. ඒක මිලියන හතෙන් වැඩි කළොත් මිලියන 7000 ක ඉතිරියක්.

* අතීතයේ පටන් මේ රටේ අර්බුදයක් ඇති වූ අවස්ථාවල පෙරමුණ ගෙන ක්‍රියාකරනු ලැබුවේ මහා සංඝරත්නයයි. ඇතැම් අවස්ථාවල යම් යම් දේශපාලනඥයින් මහා සංඝරත්නයේ කාර්යභාරය විවේචනයට ලක්කරන අවස්ථා තිබෙනවා ?

සංඝරත්නය නැත්නම් රටක බුදු දහම පවතින්නේ නැහැ. ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, බංගලිදේශය, මාලදිවයින, මැලේසියාව වගේ රටවල්වලට මොකද වුණේ? සංඝරත්නය නැතිවෙන කොට ඒ රටවල්වල බුදු දහමත් නැතුව ගියා. මේ හැම රටකම බුදු දහම පැවැතුණු බවට ඓතිහාසික සාක්ෂි තිබෙනවා. ඒ බව ඒ රටවල වත්මන් පාලකයින් පවා පිළිගන්නවා. අද මුළු ලෝකයම බුදු දහම වැළඳ ගනිමින් ඉන්නවා. බෞද්ධ දර්ශනය අද විද්‍යාවක් බවට පරිවර්තනය වී තිබෙනවා. බෞද්ධ දර්ශනය ජනතාව අතරට ගෙනයනු ලබන්නේ මහා සංඝරත්නයයි. කාගෙත් අඩුපාඩු තිබිය හැකියි. ගෙදර තියෙන වැරදි අපි මහ පාරේ කියන්න යන්නේ නැහැ. යම් භික්ෂූන් වහන්සේ නමකගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව ගැටලුවක් ඇත්නම් කළ යුත්තේ ඒක නිර්දය ලෙස විවේචනය කිරීම නොවෙයි. ඒ සඳහා ගතහැකි වෙනත් ක්‍රියාමාර්ග ඕනෑ තරම් තිබෙනවා.

* මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක හිමිපාණන් වහන්සේලා දෙනම වගේම තවත් නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බොහොමයක් ප්‍රකාශ කරන දෙයක් තමයි භික්ෂුව ඍජුව දේශපාලනයට යොමු නොවිය යුතුයි කියන කාරණය. මේ සම්බන්ධව ඔබේ අදහස ?

මම කියන්නෙත් භික්ෂුව ඍජුව දේශපාලනයට යොමු නොවිය යුතු බවයි. සම්බුද්ධ ශාසනය තුළ භික්ෂුවකට විනය කර්ම තිබෙනවා. බුද්ධ ශාසනයට සාමනේර භික්ෂුවක් ලෙස ඇතුළුවෙලා උපසම්පදාව ලබන විට උන්වහන්සේලා ලොකු අවබෝධයක් එක්ක සමාජගත වෙන්නේ. අතීතයේ පටන් මහ සංඝරත්නය තමන්වහන්සේ සතු ඒ පුළුල් අවබෝධය තුළින් අර්ථයෙන් ධර්මයෙන් රටක් පාලනය කරන්න අවශ්‍ය අනුශාසන රජවරුන්ට ලබා දුන්නා.මම හිතන්නේ භික්ෂුන්වහන්සේ නමක් එසේ නොකර ඍජුව දේශපාලනයට සම්බන්ධ වීමෙන් භික්ෂු ගෞරවයට හානියක් වෙනවා කියලයි.

* මේ වන විට රටේ විශාල ලෙස කතාබහට ලක්ව තිබෙන කාරණයක් තමයි මහ මැතිවරණය.පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අපේක්ෂා කළ පරිදි මැතිවරණය පැවැත්වීමට නොහැකි වුණා. මැතිවරණය කල් දමා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට පිරිසක් ප්‍රකාශ කරනවා. ඔබ හිතන්නේ දැන් මැතිවරණයක් පැවැත්වීමට තරම් අපි කොරෝනාවෙන් මිදිල ද ?

දැන් පාර්ලිමේන්තුවක් නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වන්න ඕන. ලෝකයේ කවුරුවත්ම මේ වගේ ව්‍යසනයක් අපේක්ෂා කළේ නැහැ. අනිත් කාරණය තාමත් කොවිඩ්-19 වලට ඖෂධයක් සොයාගෙන නැහැ. විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ නිශ්චිත ඖෂධයක් සොයා ගන්නා තුරු මේ වෛරසය ලෝකයෙන් තුරන් කිරීම කළ නොහැකි බවයි. අපේ රටේ වුණත් කොරෝනා රෝගීන් ගණන බිංදුව කරන්න සෑහෙන කාලයක් යයි.

එතකං මැතිවරණය නොපවත්වා ඉන්න බැහැ. දැන් ක්‍රමයෙන් රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. කොළඹ හා ගම්පහ දිස්‍ත්‍රික්කවලට පමණක් දැන් මේ රෝගය සීමා වී තිබෙනවා.ඇඳිරි නීතිය සියලුම දිස්ත්‍රික්කවල ඉවත් කළා. ජන ජීවිතය සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙනවා. මම හිතන්නේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් දැන් ක්‍රමානුකූලව නිර්මාණය වෙමින් තිබෙනවා. තවත් අවුරුදු ගණනක් යනතුරු අපිට මේ සෞඛ්‍ය පුරුදු එක්ක ජීවත් වෙන්න වෙයි. මැතිවරණයකට නොවෙයි පොළට ගියත් කඩේට ගියත් දරුවන් පාසලට ගියත් ඒ පුරුදු කාලයක් යනතුරු අත් නොහැර පවත්වාගෙන යන්න සිදුවේවි.

 

 

නව අදහස දක්වන්න