පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලංකා ක්‍රිකට් රු. මිලියන 500ක් වැය කරයි | දිනමිණ

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලංකා ක්‍රිකට් රු. මිලියන 500ක් වැය කරයි

ප්‍රින්ස් ගුණසේකර
නවීණ තාක්ෂනයෙන් යුත් පන්දු යැවීමේ පුහුණු යන්ත්‍ර 17ක් 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 17කට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා අතින් පිරිනැමූ අවස්ථාවේ විදුහල්පතිවරුන් සමග

වසර දෙක තුල පාසල් ක්‍රීඩාවට වැඩිම ආයෝජනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාසල් ක්‍රිකට් ක්‍රීඩා දියුණුව වෙනුවෙන් රුපියල් මිලියන 500ක් පමණ වැය කරයි. ගතවූ අවුරුදු දෙකේදී රටපුරා පාසල්වල ක්‍රිකට් දියුණුවට, විවිධ වයස් කාණ්ඩවල පාසල් කණ්ඩායම්වල තරගාවලි වෙනුවෙන් , ජාතික පාසල් කණ්ඩායම සහභාගීවූ දෙස් විදෙස් තරගාවලිවලට හා පාසල් ක්‍රිකට් පරිපාලනයට සමබරව බෙදී යන අයුරින් වැය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව කටයුතු කර තිබීම විශේෂත්වයකි.

රටපුරා එක් දිස්ත්‍රික්කයකට අවම වශයෙන් කොන්ක්‍රීට් පැති විකට් 8ක් බැගින්වන ලෙස ස්ථාන 220ක කොන්ක්‍රිකට් පැති විකට් සෑදීම සදහා පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් රුපියල් 130000000ක් වැය කිරීම හේතුවෙන් කොළඹින් පිට පළාත්වල පාසල් ක්‍රිකට් දියුණුවට මංපෙත් විවරවී ඇත. මෙමගින් තණතිලි නොමැති පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශාල සහනයක් ලැබී ඇතැයි පාසල් ක්‍රිකට් පුහුණුකරුවෝ පවසති. නවීණ තාක්ෂනයෙන් යුත් පන්දු යැවීමේ පුහුණු යන්ත්‍ර 17ක් 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 17කට පිරිනැමීම උදෙසා රුපියල් 13600000ක්ද, වසර දෙකක් තුල දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වලට මැටින් විකට් 300ක් නිසි ප්‍රමිතියෙන් පවත්වා ගැනීම සදහා අවශ්‍ය සියලු උපකරණ වෙනුවෙන් රුපියල් 15000000ක් වැය කොට ඇත.

දිස්ත්‍රික් සංගම් හරහා රටපුරා පාසල් වලට ක්‍රිකට් ආම්පන්න ගෙන යා හැකි බෑග් සදහා රුපියල් 10000000ක්, ටර්ෆ් තණතිලි ඇති පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගණවල තණතිලි සකසන රොල් සදහා රුපියල් 30000000ක්ද වැය කොට ඇත. එයට අමතරව පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගණ නිසි පරිදි නඩත්තුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මිලියන ගණනක් වැය කොට තිබේ.

එමෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගීවන දෙස් විදෙස් සංචාරවල සියලු වියදම් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරා ඇත. වෙනදා ක්‍රීඩා අමාත්‍යාංශය මෙම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගීවන දෙස් විදෙස් සංචාරවල සියලු වියදම් දැරූවද ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිපාලනයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙම සුවිශාල පහසුකම ලැබී ඇත.

නිමාවට පත්වූ ඔස්ට්‍රේලියා 19න් පහළ ක්‍රිකට් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් රුපියල් 19600000ක් වැය කොට ඇති අතර ශ්‍රී ලංකා 19න් පහළ පිල බටහිර ඉන්දීය කොදෙව් හිදී සහභාගීවී ශූරතාව දිනාගත් තුන්කොන් තරගාවලියට රුපියල් 45000000ක් වැය කොට තිබේ. පාකිස්තාන 19න් පහළ පිල ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී රුපියල් 22400000ක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් වැයවී තිබේ. 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයට රුපියල් 11700000ක්, දකුණු අප්‍රිකාවේ පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් 24200000ක්ද වැයවී ඇත.

වයස 19න් පහළ දේශීය, පළාත් හා දිස්ත්‍රික් තරගාවලි සදහා රුපියල් 25575000ක්, වැය කොට ක්‍රීඩකයින් ජාතික මට්ටමට ගැනීම උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල මෙහෙයක් කළ බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ප්‍රකාශකයෙක් ‘දිනමිණ‘ ට පැවැසීය. කාන්තා ක්‍රීඩිකාවන් අතරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට ආකර්ශනයක් ලබාදීමේ අරමුණින් කාන්තා පාසල් ක්‍රිකට් මහා තරග වෙනුවෙන් රුපියල් 3000000ක් ද, පාසල් ක්‍රිකට් ලකුණු සටහන්කරුවන් වෙනුවෙන් 6500000ක්ද වැයකොට ඇත. පාසල් ක්‍රිකට් සම්බන්ධීකාරකයින්ට හා පාසල් ක්‍රිකට් සංගමයේ පරිපාලන වියදම් සදහා රුපියල් 4800000ක් වැයකොට තිබේ.

නව අදහස දක්වන්න