ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීමට කඩිනමින් මැතිවරණය පැවැත්විය යුතුයි | දිනමිණ

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීමට කඩිනමින් මැතිවරණය පැවැත්විය යුතුයි

නුවන් කොඩිකාර

හිටපු රාජ්‍ය ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීමට මැතිවරණ කොමිසම් සභාව කඩිනමින් මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු රාජ්‍ය ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවැසීය.

මැතිවරණ කොමිසම් සභාව සිය වගකීම නිද්‍රාශීලී නොවී කාර්යක්ෂමව සිදු කරයි කියා සමස්ත රටම බලන් සිටින්නේ යැයි හෙතෙම කීවේය.

මහ මැතිවරණය කල් දමමින් රටම අකර්මන්‍ය කිරීමේ විපක්ෂයේ උපාය මාර්ගයට මැතිවරණ කොමිසම සහය දක්වන බවට ජනතාව තුළ මතයක් ඇති වීම ස්වාධීන මැතිවරණ කොමිසමේ කීර්ති නාමයට විශාල කැළලක් බව කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී පසුගිය දා කියා සිටියේය.

අද අපේ රටේ කොරෝනා වෛරසය සාර්ථකව මැඩ පවත්වලා තියෙන්නේ. පසුගිය සති තුනේදී බාහිර සමාජයෙන් කිසිදු රෝගියෙක් වාර්තා වුණේ නැහැ.දැන් රෝගීන් වාර්තා වෙන්නේ නාවික හමුදාවෙන් සහ පිටරටවලින් පැමිණෙන අයගෙන් විතරයි.ඔවුන් සියලු දෙනා නිරෝධායන කඳවුරුවල ඉන්නේ යැයි සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

රට ක්‍රමනූකූලව යථා තත්ත්වයට පත්වෙමින් තියෙන්නේ. රජයේ කාර්යාල ආරම්භ කරලා. ඒක නිසා මැතිවරණයක් පැවැත්වීමට දැන් කිසිදු ප්‍රශ්නයක් නැහැ.නමුත් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන්ගේ කඹ ඇදිල්ල නිසා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තවමත් නිශ්චිත දින වකවානුවක් ප්‍රකාශකර නැහැ.උසාවියේ තීන්දු දෙනකම් බලා ඉන්න සිදුවන බව හිටපු රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

දැන් නාම යෝජනා භාර අරන් මුලික වැඩ සියල්ල අවසන් කරලා තියෙන්නේ .අපේක්ෂකයන්ගේ අංක ටික ගැසට් කරලා ,තැපැල් ඡන්ද වැඩ ටික අවසන් කරලා, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එතරම් කාලයක් අවශ්‍යද?.මේ යන විදිහට මහමැතිවරණය අගෝස්තු මාසය දක්වා කල්යන ලකුණු තමයි දැන් තියෙන්නේ.මැතිවරණ කොමිසම කාර්යක්ෂම වුණොත් ජුලි මාසයේ මැද වුණත් ඡන්දය තියන්න පුළුවන් යැයි සෙනෙවිරත්න මහතා කීවේය.

හිටපු රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළේ මාර්තු මාසයේ මුලදී.මැතිවරණය පවත්වන්න තිබුණේ අප්‍රේල් මාසේ 25 වෙනිදා.නමුත් දැන් මැතිවරණ කාල සීමාව මාස 5ක් පමණ දීර්ඝ වෙමින් යනවා.මැතිවරණය නිසා උපාධිධාරී පත්වීම් ලබා දීම අද නතර වෙලා.ඔවුන්ට ලබා දෙන රුපියල් 20,000 දිමනාව ලබා දීම මැතිවරණ කොමිසම විසින් අත්හිටුවලා.අඩු අදායම්ලාබී පවුල් වලින් තෝරාගත් ලක්ෂයකට රැකියා ලබා දීම නතර කරලා.කොරෝනා වලින් අසරණ වු අදායමක් නොමැති ජනතාව වෙත ලබා දෙන රුපියල් 5,000 දීමනාව ලබා දීමත් මැතිවරණ නීතියට පටහැනි බව ප්‍රකාශ කර තිබෙනවා.රාජ්‍ය සේවයේ උසස් වීම් මාරුවීම් සියල්ල අතර මග ඇණ හිටලා.මෙහෙම දිගින් දිගටම රට ගෙනියන්න බැහැ.මැතිවරණය කල්යෑම නිසා ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී ලබා දුන් ජනතා පොරොන්දු, සහන නිසි පරිදී ක්‍රියාත්මක කිරීමට අද බැරි වී තිබෙනවා. මැරුණු පාර්ලිමේන්තුවට නැවත පණ දීමට ජනාධිපතිවරයාගේ කිසිදු සුදානමක් නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන නිසා හැකි ඉක්මනින් මහ මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක්.එම වගකීම නිදාශීලීව නොවෙයි කාර්යක්ෂමව සිදු කරයි කියලා අපි බලන් ඉන්නවා.

නව අදහස දක්වන්න