විසිවසරක් පුරන් කුඹුරු යායක් සුබ නැකතින් අස්වද්දයි | දිනමිණ


 

විසිවසරක් පුරන් කුඹුරු යායක් සුබ නැකතින් අස්වද්දයි

අක්කර 25ක වපසරියකින් යුක්ත වූ වසර 20ක පමණ කාලයක් පුරන්ව තිබූ කුඹුරු යායක් යළි අස්වැද්දීමට අකුරැස්ස, මැලැව්ව ප්‍රදේශයේ කුඹුරු හිමියන් කටයුතු කරනු ලැබුවේ විවිධ ආකාරයෙන් අනුග්‍රහාකත්වයන් සහ දිරිගැන්වීම් ලබමිනි. නිල්වලා ගොවි සමිතිය පෙරමුණ ගෙන කටයුතු කරනු ලැබූ මේ පුරන් කුඹුරු යායේ කුඹුරු හිමියන් 39 දෙනෙකුට අයත් වූ කුඹුරු කැබලි 39 ක් ඇත. දීර්ඝ කාලයක් මුළුල්ලේ පුරන්වූ කුඹුරු යළි අස්වැද්දීමට කුඹුරු හිමියන් පොළඹවා ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ අකුරැස්ස දස මහා බෝධි සෙනසුනෙහි විහාරාධිපති දිද්දෙනිපොත නන්දරත්න හිමියන්ගේ මඟපෙන්වීමෙනි. රටේ පවතින වර්තමාන අර්බුදකාරී තත්ත්වය මත මෙන්ම රජයේ නව කෘෂිකර්ම ප්‍රතිපත්තිය මත පිහිටා තම තමන්ගේ කුඹුරු අස්වැද්දීම යළි කළ යුතු බව කුඹුරු හිමියන් තිස් නව දෙනාම ඒකමතිකව ඊට ප්‍රතිචාර දැක්වූහ.

කිලෝ මීටර් 04ක් පමණ වූ ඇළ වේලි කපා සකස් කර දීමට නන්දරතන හිමියන් තම අනුග්‍රහය දැක්වීමෙන් අනතුරුව සියලු ඉඩම් හිමියන් එකතු වී වල් පැළ ඉවත් කරමින් තම තමන්ගේ කුඹුරු ප්‍රතිසංස්කරණය කිරිමට යුහුසුළුව කටයුතු කළහ. නිල්වලා ගොවි සමිතියේ සභාපති ජී. චමින්ද මහතා මූලිකත්වය ගෙන කටයුතු කරමින් සියලු කුඹුරු හිමියන්ව ඒකරාශී කරගැනීමට කටයුතු යෙදීය. පසුගිය කාලයේ පොහොර ප්‍රශ්ණයක් ආවා. ඇළ වේලි සකස් කරගැනීමට අපහසුතා ඇතිවුණා. දස මහා බෝධි සෙනසුනේ නන්දරත්න ස්වාමීන්වහන්සේ අපිව දිරිමත් කරමින් මුලින්ම ඇළවේලි සකස් කර දීමට කාරුණික වුණා. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය ලැබුණු බවත් ඒ මහතා කීය. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය කරන බිත්තර වී සහ පොහොර ලබාදීමට කටයුතු සලස්වා තිබුණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පැළ සිටුවීමේ යන්ත්‍රයක් ලබාදී තිබීම නිසා පැළ සිටුවීම ඉතා කාර්යක්ෂමව සිදුවිනි.

කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී එස්.එම්.පී. චන්ද්‍රසිරි මහතා මෙම යාය අයිති වූ වසමට තාවකාලික ස්ථාන මාරුවක් ලබා ගනිමින් පැමිණ තිබුනේ ගොවි මහතුන්ගේ දැඩි ඉල්ලීම මත මේ පුරන් කුඹුරු අස්වැද්දීම තම ඒකායන ප්‍රාර්ථනය සඵල කරගැනීමේ අදිටනිනි. හෙතෙම කුඹුරු යාය එළි පෙහෙළි කිරීමේ සිට පැළ සිටුවන අවස්ථාව දක්වාම දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින බව කුඹුරු හිමියන් පෙන්වා දුන්හ. වසර 20 ක පමණ කාලයක් පුරන්ව තිබූ අක්කර 25ක කුඹුරු යායේ පැළ සිටුවීමේ සමාරම්භක අවස්ථාවට දිද්දෙනිපොත නන්දරතන හිමියන් ප්‍රමුඛ ස්වාමීන්වහන්සේ විසින් සෙත් පිරිත් සජ්ජායනා කළහ. අනතුරුව සුබ මොහොත උදාවත්ම උන්වහන්සේ ඇතුළු නිලධාරීන් සහ සුබපතන්නන් විසින් පැළ සිටුවීම ආරම්භ කළහ. අනතුරුව පැළ සිටුවීමේ යන්ත්‍රය මගින් පැළ සිටුවීම ආරම්භවූ අතර ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූල්‍ය දායකත්වය ලැබූ බව කුඹුරු හිමියෙකු වන ක්‍රියාකාරී කමිටු සාමාජික මදුරංග මුණසිංහ මහතා අප හා කීය.

විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න