නව දැක්මකින් සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා | දිනමිණ

නව දැක්මකින් සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්

කොරෝනා ව්‍යසනයත් සමඟ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමාජීය පසුබිම යහපත් ආකාරයට සකස් කර ගැනීම සදහා උතුරු මැද පළාතෙන් ලබාදෙන දායකත්වය කෙබදුද? පහත දැක්වෙන්නේ උතුරු මැද පළාතේ ජන ජීවිතය නඟා සිටුවීම සදහා ක්‍රියාත්මක කරන ක්‍රමෝපායන් පිළිබද උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සමඟ සිදු කළ සාකච්ජාවකි.    

* උතුරු මැද පළාත කෘෂිකර්මාන්තයට විශේෂ පළාතක් කොවිඩි19 හෙවත් කොරෝනා ව්‍යසනයත් සමග රටට ශක්තිය දෙන්න මේ පළාත තුල සැලසුම් ඔබ ක්‍රියාත්මක කර තිබෙනවාද?

ඇත්තෙන්ම ඔව්. අපි මේ සදහා සැලසුම් කළ යුතු දෙයක් නෙවෙයි. මේ පළාතේ කෘෂිකාර්මාන්තය දැනටත් හොදින් කෙරෙනවා .නමුත් එය හදුනා ගැනීමයි වැදගත් විශේෂයෙන් අනුරාධපුරයට ආවේනික වගාවන් මොනවාද පොලොන්නරුවට ආවේනික වගාවන් මොනවාද කියා හොද අවබෝධයක් මම ලබාගත්තා.

ජනාධිපතිතුමා මට ආණ්ඩුකාර පදවිය මට ලබාදෙන විටත් සදහන් කළේ කෘෂිකර්මාන්තයට හොදම පළාතක් ඔබ එය ගොඩනගන්න දායකත්වය ලබාදෙන්න කියායි.ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුලු සමස්ථ රාජ්‍ය නිළධාරින් පුද්ගලික අංශය මහජනතාව සියලු දෙනාම අද මේ ඇති වෙලා තිබෙන මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සදහා එක පෙළට හිටගෙන ඉන්නවා.ඒ වෙනුවෙන් අපි ශක්තිය ලබා දිය යුතුයි.

ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තයට හොදම පළාත ලෙස මට පෙන්වාදුන්නා සේම ඒ විශ්වාසය තහවුරු කිරීම සදහා මම කටයුතු කරනවා.සබරගමුව පළාතෙන් උතුරු මැද පළාතට මම පැමිණියේ වෙනම පළාතකට.දේශගුණය වෙනස්.පරිසරය වෙනස්.වගාවන් වෙනස්.මේ සියල්ල සැලකිල්ලට ගෙන කටයුතු කරන්න අපි දැන් පළාතක් වශයෙන් කටයුතු ආරම්භ කර තිබෙනවා.

දැනට අපේ රටට පිටරටින් ධාන්‍ය ඇතුලු ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගෙන්වනවා.ඒ සදහා විශාල වශයෙන් යන්නේ.මේ රටේ මුදල්.ඉදිරියේදී අපි මේ පළාතේම එම නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් වගා කර රටට අවශ්‍ය නිෂ්පාදනයට දායක වෙන කටයුතු කරනවා.විශේෂයෙන් මිරිස් වගාවට අනුරාධපුරය නමක් උසුලා තිබුනා.අද වන විට පිටරටින් මිරිස් ටික එනකල් බලාගෙන ඉන්න සිදු වෙලා දැනටමත් ඒ සදහා අවශ්යබ පියවර ගනිමින් සිටිනවා.මිරිස් වගාව ව්‍යාප්ත කිරීම සදහා අදාළ නිළධාරින් සමග එක්ව සැලසුම් සකස් කර තිබෙනවා. ඊට අමතරව බඩඉරිගු සෝයා ඇතුලු අතුරු බෝග නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ වී වගාවට අමතරව හදුනා ගත් ප්‍රදේශවල අතුරු බෝග වගාව සදහා කටයුතු කරනවා. අපිට මේ පළාත තුලින් විශාල නිෂ්පාදනයක් ලබා දිය හැකියි.ඒ වගේම මහඉලුප්පලම බීජ පර්යේෂණ ආයතනය හා එක්ව ශ්‍රී ලංකාවට අවශ්‍ය බීජ නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මේ සියලු දේ කරන්න පිරිසක් අවශ්‍යයයි .ඒ වෙනුවෙන් රැකියා විරහිත මේ සදහා කැමැත්තක් ඇල්ලමක් දක්වන තරුණ ප්‍රජාව දායක කරගන්නවා.ඔවුන්ට දැනට වගා නොකරන මුඩු ඉඩම් ලබා දී ජලය ඇතුලු යටිතල පහසුකම් ලබා දී මේ කාර්යයන් සිදු කිරීමට පියවර ගන්නවා.

තල,මුං,කව්පි,බඩඉරිගු,සෝයා,බිළුනු,මිරිස් වගාවන් සදහා ඔවුන්ට අවශ්‍ය ගබඩා මෙන්ම වෙළදපොල පිළිබද අවධානය යොමු තිබෙනවා.ලංකාවට ගෙන්වන ධාන්‍ය වර්ග දහසයක් (16) පමණ තිබෙනවා.එය අපේ පළාතෙන් නිෂ්පාදය කර ලබා දීමයි අපේ අරමුණ.ඊට පසු රටේම මේ කෘෂි නිෂ්පාදන නිෂ්පාදනය කලොත් අපිට පිටරටට යන විදේශ විනිමය ඉතිරි කර ගත හැකිය.

* උතුරු මැද පළාතේ තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ නිසි අධ්‍යාපනයක් දරුවාට ලබා දීමට නොහැකි වීමයි .අධ්‍යාපනය ප්‍රදේශයෙන් ප්‍රදේශයට විෂම වී තිබෙනවා . ඔබ මේ ප්‍රශ්නයට මුහුණු දෙන්නේ කෙසේද?

සබරගමු පළාතේ මහ ඇමති වශයෙන් පත් වූ පසු ඒ පළාතත් අධ්‍යාපන මට්ටමින් පහළ මටිටමක තිබුනා .නමුත් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා මට හැකි වුනා ඒ පළාත ඉහළටම අධ්‍යාපනයෙන් ගෙන ආවා.මට මේ පළාත අධ්‍යාපනයෙන් ඉහළට ගෙන ඒමට හැකි වෙයි කියා විශ්වාස කරනවා.

අනුරාධපුරය පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ජීවත් වන්නේ වැඩි පිරිසක් ගොවි ජනතාවයි.ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන දරුවන්ටත් මේ අධ්‍යාපනය නිසි පරිදි ලබා දීමට අවශයයි .මේ රටේ අධ්‍යාපනය ලබා දීම සෑම දරුවෙකුට එක සමානව ලබා දීම ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් මූලික අරමුණයි. ඒ නිසා ඒ සදහා උපරිම දායකත්වය ලබා දීමයි අරමුණ.

විශේෂයෙන් මේ පළාතේ දරුවන් විවිධ දක්ෂතා දක්වා තිබෙනවා. තාක්ෂණ පැත්තෙන් ලෝක පූජිත වී තිබෙනවා. ඔවුන් නමින් තාරකා පවා නම් කර තිබෙනවා. එවන් පළාතක් මේක .කලාව සඳහා හොඳ තෝතැන්නක් මේ පළාත. එදා රජ දවසේ නිර්මාණ වූ කලා නිර්මාණ දෙස බැලීමේදී විශ්මයජනකයි. අදටත් ඒ කලාකරුවන්ගේ නෂ්ටාවශේෂ මේ ප්‍රදේශවල තිබෙනවා .කලා ලොව දික්විජය කර ඇති බොහෝ පිරිසක් ප්‍රදේශයෙන් බිහි වූ අය ඒ නිසා ඒ අංශයෙන් දරුවන් ඉදිරියට ගැනීමට අවශ්‍ය දිරි ගැන්වීම කළ යුතුයි.

ප්‍රදේශයෙන් ප්‍රදේශයට අධ්‍යාපනය විවිධ වීෂම වීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. ස්මාට් අධ්‍යාපනය ගම්බද ළමයින්ට ලබාදීම ගැටලුවක්. ඔවුන්ට තිබෙන්නේ ගුරුවරයා හා පාසල පමණයි. ඒ නිසා මම යෝජනා කරනවා විශේෂයෙන් ගම්බද පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් වෙලා තියෙනවා කියලා .

අද ගම්බද ජනතාව බුලත්විටක් කාගෙන තම දෛනික කටයුතු ගම තුළ එදා වගේම අදත් කරගෙන ඉන්නවා .ඔවුන්ගේ පරිසරයට පිටින් කවුරුත් එන්නේ නැ. ඒ පරිසරය තුළ පාසල් විවෘත කර ඒ දරුවන්ට තම අධ්‍යාපන අයිතිය ලබා දිය යුතුයි කියන එකයි මගේ මතය. ඒ දරුවන්ගේ පාසල් පිහිටා තිබුනේ ගම තුලයි. පාසලට පිටින් ළමයි එන්නේ නෑ. ඒ නිසා මේ ගැන අවධානයෙන් අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. ස්මාර්ට් ක්‍රමයට ගමේ දරුවාට අධ්‍යාපනය නොලැබීම ගැන අපි සලකා බැලිය යුතුයි .

අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ සමහර කලාපවල අධික ගුරු හිඟයක් පවතිනවා .නමුත් නගරයේ පාසල්වල ගුරු අතිරික්තයක් පවතිනවා. මේ ගැන අවධානය යොමු කරලයි තියෙන්නේ දිගින් දිගටම විවිධ සම්බන්ධකම් මත නගරයේම පාසල් වල රැඳී සිටින ගුරුවරුන් පිළිබඳව තොරතුරු තිබෙනවා. ඒ පිළිබඳව නිලධාරීන්ට නිසියාකාරව පරීක්ෂාකර දිගින් දිගටම නගරයේ පාසල් තුළ සිටි ගුරුවරුන් ග්‍රාමීය පාසල් කරා යොමු කිරීමට කටයුතු කරනවා.

අනෙක් කරුණ වන්නේ භෞතික සම්පත් පමණක් ගමට ලබා දීම පමණක් නෙවෙයි. ගමේ දක්ෂතා ඇති දරුවන් හඳුනාගෙන ඔවුන්ගේ හැකියාවන් සදහා වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කර ඉදිරියට ගෙන ඒම මගේ බලාපොරොත්තුවයි. එමඟින් එම දක්ෂතා ඇති දරුවන් ඉහළට ගෙන ඒමට හැකි වනවා පමණක් නොවෙයි.අනෙක් ග්‍රාමීය දරුවනුත් පෙළබෙනවා තම තමන්ගේ හැකියාවන් මතුකර පෙන්වීමට. ඊට අමතරව භෞතික සම්පත් ග්‍රාමීය පාසල්වලට ලබාදීමට කටයුතු කරනවා.පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන දී ග්‍රාමීය පාසැල් සැලකිය යුතු ලෙස භෞතික වශයෙන් සංවර්ධනයය කළා.ඉලක්කයක් ඇතිව කටයුතු කළොත් මේ පළාත ඉදිරි ඉදිරියට ගෙන ඒම අපහසු නැහැ. මම මේ සඳහා පියවර ගන්නවා.

* නමුත් මෙය ගුරු ස්ථාන මාරුවීම් සිදු වීමේදි ගුරු වෘත්තිය සමිති හා නිලධාරීන්ගේ හිතවතුන් මේ නගරයේ පාසල් තුළම රඳවා ඇති බවට තොරතුරු තිබෙනවා. ගුරු වෘත්තියේ නියැලී සිටින ස්වාමියා හා බිරිඳ ස්ථාන මාරු කල් පිරීමට පෙර සුහද මාරු ක්‍රමය යටතේ නගර පාසල් තුළම රැදීමට කූඨ උපක්‍රම ක්‍රියාත්මක ‍වෙනවා. මේ පිළිබඳව අවධානය මේ වන තුරුත් කිසිදු බලධාරියෙක් ක්‍රියාත්මක වූයේ නැහැ. ඔබගේ ස්ථාවරය ඒ පිළිබඳ කුමක්ද?

මේ පිළිබඳ සොයා බලනවා. එහෙම කරනවා නම් ඉතාම වැරදියි ඉදිරියේදී ඒවා අකටයුතුකම් සිදු වීමට ඉඩ තබන්නේ නැහැ. ඉතාමත් සාධාරණ හේතුවකට හැර කිසිදු ආකාරයෙන් අතිරික්කත ලෙස නගරයේ පාසැල් තුල රැදීමට හෝ සුහද මාරු ක්‍රමය ආදිය පිළිබඳව මම අවධානය යොමු කරනවා.ක්‍රමවේදය කාටත් පොදු විය යුතුයි.

අධ්‍යාපනය තුළ දැඩි අසාධාරණයක් වෙනවා නම් ඕනෑම කෙනෙකුට එය ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. මෙවැනි බරපතළ කූඨ ක්‍රම දැනුවත් කිරීම ඉතාම වැදගත් මෙවැනි කටයුතු කිරීමේ සාධාරණ හේතු මත ක්‍රියා කරන ගුරුවරුන්ටත් දැඩි බලපෑමක් ඇතිවෙනවා මේ ගැන මම සොයා බලනවා.

* මේ පළාතට බලපාන තවත් ප්‍රධාන මාතෘකාවක් වන්නේ සෞඛ්‍ය සේවයයි . ඒ අංශයෙන් පළාතට සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද?

මේ පළාතේ අධ්‍යාපනයට මෙන්ම විශේෂ අවධානයක් යොමු කළ යුතු දෙයක් තමයි සෞඛ්‍ය. මේ පළාතේ සෞඛ්‍ය ගැන කතා කරන විට මුලින්ම කියන්න ඕන මේ කොරෝනා වසංගතයෙන් දැඩිව ආරක්ෂා වූ දිස්ත්‍රික්කයක් තමයි අනුරාධපුරය. නාවික හමුදා වීරෝධාර සෙබලුන්ගේ සිද්ධිය නොවෙන්න අනුරාධපුරයෙන් කිසිදු රෝගියෙක් නැහැ. ඒ ගැන සතුටු විය හැකි වන්නේ පහසුකම් සැපයීමයි.මේ ජනතාවට හොඳ විනයක් තියෙනවා .

අනුරාධපුර ශික්ෂණ රෝහල හා පොලොන්නරුව රෝහල මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන රෝහල් පළාත් සභා රෝහල් ඒ මට්ටමේ එකක්වත් නෑ. ඒ ගැන රජය අවධානය යොමු කරල තියෙන්නේ. දැනට මැදිරිගිරිය සහ තඹුත්තේගම රෝහල් මේ වන විට දැඩි සත්කාර ඒකක සහිතව ආරම්භ කිරීමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ලබන ජූනි 20 වෙනිදා තඹුත්තේගම රෝහලේ දැඩි සත්කාර ඒකකය විවෘත කරනවා. මැදිරිගිරිය රෝහලේ ඇඳන් හයක් සහිත දැඩි සත්කාරය පිහිටවනවා .

සෞඛ්‍ය අංශ ගැන කියන විට මේ රටේ සමස්ත රාජ්‍ය සේවයට ස්තූති කරන අතර සෞඛ්‍ය අංශයට විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන . ආරක්ෂක අංශ වගේම සෞඛ්‍ය සේවයේ නියුතු සියලු දෙනා තම ජීවිත කැප කරලා මේ කල සේවය නිසයි අද අපට සැනසුම් සුසුම් හෙලන්න විය හැකි වී තිබෙන්නේ.

රටක දියුණුවට ආර්ථිකය වගේම මානසික නිදහස අවශ්‍ය වෙනවා. ඒ සඳහා සෞඛ්‍ය අංශයේ දායකත්වය අත්‍යවශ්‍යයි .ඒකට සැලසුම් සහගත වැඩපිළිවෙළක් අවශ්‍යයි.කොරෝනා රෝගය මර්දනයෙන් අපේ රට අද ලෝකයේ ඉහලම මට්ටමක ඇවිත් තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලෝක නායකයින්ගේ පැසසුම් ලැබෙන්නේ ඒකයි. දැවැන්ත සංවර්ධිත රටවල් වලට පවා අද ලංකාවේ වැඩ පිළිවෙල ආදර්ශය ගැනීමට සිදුවී තිබෙනවා. ඒකයි අසල්වැසි ඉන්දියාව, චීනය ආදි රටවල නායකයන් අපේ රටේ ජනාධිපතිතුමාට පුද්ගලිකව දුරකථන‍යෙන් කතා කරලා පැසසුම් ලබා දෙන්නේ.

* උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඉදිරියේ නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවාද?

සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනය උදෙසා මේ පළාතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් රැසක් තිබෙනවා. රටේ පවතින මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් අපි පසු අපි නව දැක්මකින් සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඓතිහාසික නුවර වැව ජනතාවට වසර ගණනාවකින් විවෘත වී නෑ. ඉදිරියේ දී එය විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය වසා තැබීම සිදු වන්නේ මේ ප්‍රදේශවල අපචාරයි.

* ඔබ ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය නමක් දිනාගත් දේශපාලනඥයෙක් . ආණ්ඩුකාර තනතුර හරහා ඔබ රාමුවකට කොටු වෙනවා නේද?

මගේ ඇඟේ තියෙන දෙයක් දේශපාලනය . ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරම්භ කර දේශපාලනය, ශ්‍රී ලංකා පොදු පෙරමුණෙන් අද ක්‍රියාත්මක කරනවා .ජනාධිපතිතුමා මා කෙරේ විශ්වාසය තබා මේ තනතුරු ලබා දෙන්නේ එක් දිනක් තුල. එතුමා බලාපොරොත්තුවන සැලසුම් මේ පළාත තුළ ක්‍රියාත්මක කරන්න මම කටයුතු කරනවා. දේශපාලනය කිරීමට අවශ්‍ය තැනකදී ඒ දේ කිරීමට මම බලාපොරොත්තු වෙනවා . කෙටියෙන් කිව්වොත් මම දේශපාලනඥයෙක්.

 

සාකච්ඡා කලේ
චූලා බණ්ඩාර කුලසේකර

නව අදහස දක්වන්න