පාසල් ක්‍රිකට් දුක්ගැනවිලි ක්‍රීඩා ඇමැති හිසමතට | දිනමිණ


 

පාසල් ක්‍රිකට් දුක්ගැනවිලි ක්‍රීඩා ඇමැති හිසමතට

ප්‍රින්ස් ගුණසේකර
ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අතින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගණ නඩත්තුව වෙනුවෙන් අවශ්‍ය උපකරණ ප්‍රදානය කළ අයුරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුද සිටිති.

ඉතිහාසයේ මුල්වරට අධ්‍යාපන-ක්‍රීඩා-ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෝ එකම වේදිකාවක

රටපුරා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ දුක්ගැනවිලි සමුදායක් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට යොමු වෙයි. පාසල් ක්‍රිකට් යටිතල පහසුකම්වල අඩුපාඩු, පුහුණුකරුවන්ගේ දීමනා හා ප්‍රමිතිය, කාන්තා ක්‍රිකට් දියුණුවට ඇති බාධා, ආර්ථික දුෂ්කරතා හා අනුග්‍රාහ සම්බන්ධ ප්‍රශ්න ගණනාවක් විදුහල්පතිවරු, ගුරුවරු හා පාසල් ක්‍රිකට් පුහුණුකරුවෝ ඉදිරිපත් කළහ. එම සියලු දුක්ගැනවිලි පාසල් ක්‍රීඩාවේ ආත්මීය කඩා වැටීමක ප්‍රතිඵලයක් බවත්, ඒවාට පියවරෙන් පියවර විසදුම් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක්ව කටයුතු කරන බවත් ක්‍රීඩා ඇමැතිවරයා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපාදනවලින් රටපුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් 140කට රුපියල් 20000 බැගින් රුපියල් ලක්ෂ 28ක පමණ මූල්‍ය ප්‍රදාන හා මිලියන ගණනක් වටිනා ක්‍රීඩා පිටි නඩත්තු උපකරණ ප්‍රදානය කිරීමට සමගාමීව ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

මෙවැනි පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහනක් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට සංවිධාන වූ අතර ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා පාසල් ක්‍රිකට් සංගමය වැනි වගකිව යුතු ආයතන හා සංගම්වල ප්‍රධානීන් සියලු දෙනා සහභාගිවී සිටීම විශේෂත්වයකි. ඔවුන් ඉදිරිපිට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පාසල්වල විදුහල්පතිවරු, ක්‍රීඩා භාර ගුරුවරු, ක්‍රිකට් භාර ගුරුවරු හා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ ප්‍රශ්න පත්‍රය දිග හැරියහ.

“පාසල්වලට ක්‍රීඩා පිටි නෑ. ක්‍රීඩා පිටිය තිබුණත් තණතිල්ලක් නෑ. ක්‍රීඩා පිටිය නඩත්තු කරගන්න විදිහක් නෑ. ප්‍රමාණවත් පහසුකම් නෑ. පුහුණුකරුවන්ට කම්කරු වැටුපක්වත් නෑ. ක්‍රිකට් පන්දු ගන්න සල්ලි නෑ. ලකුණු සටහන්කරුවන්ට විනිසුරුවන්ට මුදල් ගෙවන්න විදිහක් නෑ. කාන්තා ක්‍රිකට් ඉදිරියට ගන්න නිසි වැඩ පිළිවෙළක් නෑ. තෙවැනි පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල්වලට විශේෂ සහනයක් දෙන්න. සම්පත් බෙදීයෑමේදී දුප්පත් පාසල්වලට කුඩම්මාගේ සැළකිලි ඇයි” යනාදී ප්‍රශ්න ගණනාවක් ක්‍රීඩා ඇමැතිවරයා වෙත යොමු වුණි.

මේ සියලු ප්‍රශ්න ක්‍රීඩා අමාත්‍යාංශයේ පසුගියදා ඇති කළ විශේෂ සම්බන්ධීකරණ ඒකකයට යොමු කොට අවශ්‍ය පියවර ගන්නා බව ක්‍රීඩා ඇමැතිවරයා මෙහිදී පැවැසීය. තවදුරටත් අදහස් හෝ යෝජනා ඇත්නම් ඉක්මණින් අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කළේය.

“ක්‍රීඩා පිටියේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වෙනවා වගේ මේ ප්‍රශ්නවලට විසදුම් දෙනවා කියන්න මා සූදානම් නෑ. අපට පුලුවන් උපරිම දේ ලබාදීමට මේ හමුවීම උපයෝගී කරගන්නවා. ඉතිහාසයේ පළමු වරට එක සංවාද මණ්ඩපයකදී අප හමුවීම ඉතා වැදගත්. පින්නවල මහා විදුහලෙන් පටන් ගෙන මහනුවර මදීනා විදුහලෙන් ප්‍රශ්න යොමුවීම අවසන් වුණා”

“පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට සම්බන්ධ කාටවත් ඇගිල්ල දිගු කරන්න මා සූදානම් නෑ. ඒ කඩා වැටීමේ විත්තිකරුවන් කවුද කියන්න මා උත්සහා කරන්නේ නෑ. විත්ති කූඩුවේ කවුරු හිටියත් නැතත් අපට පිළිගන්න වෙලා තියනවා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට ලක්ව ඇති බව. ඒ අර්බුදයේ ප්‍රකාශනය අපට දැන් ඉදිරිපත් වුණා. පසුගිය 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අපේ කණ්ඩායම 9වැනි ස්ථානය. ශූරතාව දින්නේ කවුද? ලාබාල ටෙස්ට් වරම් දිනූ බංග්ලාදේශය ශූරයන් වුණා. එය අපේ පාසල් ක්‍රිකට් මනින එක දර්ශකයක්. අප ඉන්න තැන පිළිබද වැටහීමක් එයින් ගන්න පුලුවන්”

“ලෙදර් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරන පාසල් 642න් තමන්ට කියා ටර්ෆ් එකක් තියෙන ක්‍රීඩාංගණයක් ඇත්තේ පාසල් 28කට විතරයි. තවත් 450කට තමන්ටම කියා ක්‍රීඩා පිටියක් නෑ. පුංචි පැති විකට්ටුවක් තියෙන්නේ එයින් 150කට විතරයි. මා ක්‍රීඩා ඇමැති හා අධ්‍යාපන ඇමැති වුණාට අපේ මාතර දිස්ත්‍රික්කයේ කිසිම පාසලකට ටර්ෆ් එකක් තියන ක්‍රීඩා පිටියක් නෑ. ඒ නිසා අපේ වගකීම ඉතිහාසයට ඇගිල්ල දිගු නොකොට ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එකතු වෙලා අලුත් වැඩ පිළිවෙළක් සමග ඉදිරියට යන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ සඳහා සූදනමින් සිටිනවා. පාසල් ක්‍රිකට් නැංවීමට දැන් මාර්ග සිතියමක් සකස් කොට තිබෙනවා” ඇමැතිවරයා පැවැසීය.

ඕනෑම රටක පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ න්‍යෂ්ටිය බවට පත්වන හෙයින් මේ සඳහා විධිමත් සංවර්ධන සැලැස්මක් අවශ්‍ය බව ඇමැතිවරයා අවධාරණය කළේය.

මේ හමුවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. එම්. චිත්‍රානන්ද, අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, ලේකම් මෝහාන් ද සිල්වා, ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න