විපක්ෂය දෙකට කැඩී මන්ත්‍රී ධුරවලට බල අරගලයක | දිනමිණ


 

විපක්ෂය දෙකට කැඩී මන්ත්‍රී ධුරවලට බල අරගලයක

නුවන් කොඩිකාර

දෙපිරිසම එකට ආවත් අත්වන්නේ අන්ත පරාජයක්

ආණ්ඩුවෙන් තරග කරන සියලු පක්ෂ එක්ව එක නායකයෙක් යටතේ කොවිඩ් වසංගතය පාලනය කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අවශ්‍ය මැතිවරණයට සූදානමින් සිටින බව හිටපු රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එහෙත් විපක්ෂය දෙකට කැඩී ඉදිරි මහ මැතිවරණයෙන් කුමන පක්ෂය වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ගන්නේ දැයි බල අරගලයක නියැළෙමින් සිටින බව හෙතෙම කීවේය.

මේ දෙපිරිස දෙකට නොව එකට එක්ව ආවද අන්ත පරාජයක් මිස ඉන් එහා කිසිවක් ඉතිරි නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී හිටපු රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ පෙත්සම් 07 න් 04 ක්ම සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේ ලේකම්වරයා ඉදිරිපත් කර ඇති බවත් ඉන් ඔවුන් මැතිවරණවලට තිබෙන බිය මනාව ඔප්පු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මළ කඳන් උඩින් මැතිවරණ නොපවත්වන්නැයි ඉල්ලන සජිත් ප්‍රේමදාස මහතාට තමන්ගේ පියා මැතිවරණ පැවැත් වූයේ කෙසේද යන්න අතීතය දිහා නැවත වරක් හැරී බලන්නැයි සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉල්ලා සිටියේය.

හිටපු රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.‍

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාවෙන්ම පැවැරී තිබෙන බලතල අනුව මාර්තු 02 වැනිදා තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළේ. එතුමාට ලබාදුන් ජනවරමට අනුව ඉදිරියට යෑමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සකස් කර ගන්න අවශ්‍යයි. ඒ අනුව එතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය නිකුත් කරන වෙලාවේ අපේ රටෙන් කිසිඳු රෝගියකු හඳුනාගෙන තිබුණේ නැහැ. මාර්තු 11 පස්සේ තමයි රෝගියකු හඳුනා ගත්තේ. එතුමා සද්භාවයෙන් තමයි ගැසට් පත්‍රය නිකුත් කළේ. ලෝක වසංගතයක් ලෙස මෙය ව්‍යාප්ත වෙද්දී මැතිවරණ කොමිසම තමන්ට තිබෙන නීති ප්‍රතිපාදන යටතේ මෙය කල් දාන්න පියවර ගත්තා. ඒ සම්බන්ධයෙන් තමයි අධිකරණයේ මූලික විභාගය පැවැත් වුණේ. මෙහි වැඩිම උන්නදුව තිබුණේ සමගි ජනබලවේගයට. විභාග වූ පෙත්සම් 07න් 04 ක්ම සමගි ජනබලවේගයේ ලේකම්වරයා එහි පාර්ශ්වකරුවන් ලෙස පෙනී සිටිනවා. අපේ තිබූ පාර්ලිමේන්තුව නියෝජනය කළ දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, රනිල් වික්‍රමසිංහ මහත්මයගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයේ පෙත්සම් මේ විභාගයට ගැනුණේ නැහැ. එය ඉදිරිපත් වෙලා තිබුණෙත් නැහැ. මැතිවරණයට මුහුණ දීමේ අපහසුතාව නිසා බිය නිසා වෙනත් ක්‍රියාමාර්ගවලට ගිහින් හැකිතාක් ප්‍රමාද කර ගැනීමයි ඔවුන්ගේ අරමුණ. එහෙත් අපේ අරමුණ මැතිවරණය පැවැත්වීම, කොඩිඩ් වසංගතය කළමනාකරණය කිරීම, ඒ කළමනාකරණය කිරීමත් එක්ක අපේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමත් කියන සියලු කාරුණු ඊට ඇතුළත් වෙලා තිබෙනවා.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා තියෙන දේටත් උත්තර දිය යුතුයි. රුපියල් 350 ට පොහොර මිටියක් දුන්න මහින්ද රාජපක්ෂ පාලන කාලයේ 2014 දී හොඳ වී අස්වැන්නක් ලැබුණා. අපනයනය කිරීමට පවා අවශ්‍ය අස්වැන්න ලැබුණා. පසුගිය කාලයේ එය වෙනස් වුණා විතරක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස බලයට පත්වෙන කොට පොහොර ගෙන්වන පෞද්ගලික සමාගම් තුනකට විතරක් ණය තිබුණා රුපියල් බිලියන 11කට වැඩිය. ණයවර ලිපි විවෘත කිරීමේ පොහොර ආනයනය කිරීමේ දැඩි අසීරුතාවකට පත්වෙලා තිබුණා. මේවත් පදනම් කරගෙන තමයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මුදල් ඇමැති ලෙස පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එය සම්මත කරගන්න බැරි වුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම ඊට විරුද්ධ වුණ නිසා. ඒ නිසා අපිට සිද්ධ වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයට බලය ලැබුණු වහාම මේ මුදල් සමාගම්වලට ගෙවලා පොහොර ගෙන්නව ගන්න. මේ පොහොර සම්බන්ධයෙන් කතා කරන අයට කියන්න කැමැතියි පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා සද්භාවයෙන් කතා කරන අයම තමයි එදා එම ඇස්තමේන්තුව සම්මත කරගන්න ඉඩ ලබා නොදුන්නේ.

නව අදහස දක්වන්න