උරුමය සුරකින ජනපති බළකාය | දිනමිණ


 

උරුමය සුරකින ජනපති බළකාය

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි

ශ්‍රී ලංකාව තුළ පැතිර පවතින පුරාවස්තු අප සැලකිය යුත්තේ මහඟු සම්පතක් ලෙසිනි. ඒවා සියල්ලක් ම පාහේ ජාතික උරුමයක් ලෙස ජාති, ආගම්, කුල භේදයකින් තොර ව ම රටේ ජීවත් වෙන සියලු ම ජනතාවට අයිති ය. මෙරට සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට ඒ සඳහා උරුමයක් ඇති අතර ඒවා රටට ආදායම් ලබාගැනීම වෙනුවෙන් උපයෝගී කරගත හැකි වටිනා සම්පත් ය.

ශ්‍රී ලංකාව දෙලක්ෂ පනස් දහසකට අධික පුරාවිද්‍යාත්මක භූමි භාගවලින් යුක්ත වූ ද අපරිමිත පුරාවස්තු ප්‍රමාණයකට උරුමකම් කියන්නාවූ ද දේශයක් වීම සැබැවින් ම අභිමානයකි. 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනතට අනුව සහ 1998 අංක 4 දරන එහි සංශෝධනයට අනුව, මෙම උරුමය රැකගැනීම පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාගේ ඒකාන්ත වගකීම යි. කෙසේ වෙතත් දිවයිනේ පුරාවස්තු විනාශය පිළිබඳ විවිධ පාර්ශ්ව කරුණු ඉදිරිපත් කරන මෙවැනි වකවානුවක ජනාධිපතිවරයා ප්‍රකාශකොට සිටියේ ඓතිහාසික ස්ථාන කේන්ද්‍ර කරගනිමින්, ඒවා ආරක්ෂා කරගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහය ඇති ව ක්‍රියාවට නංවන බව යි. එසේ ම නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත් ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසී ය.

ආර්ථික වටිනාකම

පුරාවස්තු රැකීම පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකායක් ඇති කිරීම සැබැවින් ම අතිශය වැදගත් කාලීන කටයුත්තකි. උතුරු නැඟෙනහිර ද ඇතු‍ළු ව පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන විශාල ප්‍රමාණයක් මෙරට පවතී. උතුරුනැඟෙනහිර පවතින එබඳු ස්ථාන සියල්ලක් ම පාහේ මා විසින් පරික්ෂා කෙරී ඇති බැවින් එම ස්ථානවලින් 10%ක් හෝ තවම මතු වී නැතිබව කිව හැකි ය. එසේ ම අවම වශයෙන් එම ස්ථානවල ඇති පුරාවස්තු පිළිබඳ කිසිදු වාර්තාවක් ද සොයාගත නොහැකි වීම කනගාටුවට කරුණකි. එබැවින් මුලින් ම මා කළේ යුද සමයේ පොලිසිය සහ හමුදාව සමඟ ගොස් එම ප්‍රදේශවල පුරාවස්තු ගවේෂණය කිරීම යි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාත් එම කටයුත්ත වෙනුවෙන් ලබාදුන්නේ සුවිශාල සහයෝගයකි. ඒ ලැබුණු සහයෝගයත් මත උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල පුරාවස්තු 98%ක් පමණ ගවේෂණයකොට ඒවායේ තොරතුරු මාධ්‍යවලට ලබාදීමට සහ පොතපතේ සටහන් කර එකතුකොට තැබීමට මට හැකියාව ලැබීම භාග්‍යයකි.

පුරාවස්තු රැකගැනීම වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇති කළ විට ද පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවල කැණීම් සිදු කළ යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විධික්‍රම සහ නියමයන් අනුව ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්බන්ධය සහ සහයෝගය ඇති ව එම පුරාවිද්‍යාත්මක ස්ථාන සම්පූර්ණයෙන් ම ගවේෂණය කිරීම ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සිදු කළ යුතු ය. එය සැලකිය යුතු කාලයක් ගත වන කටයුත්තකි. කාර්ය සාධක බලකාය පුරාවස්තු ඇති ස්ථානවලට ගොස් ඒ ස්ථාන පිළිබඳ නිවැරදි සටහනක් සැකසිය යුතු ය. පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල්, මුලර් වැනි පුද්ගලයින් අතීතයේ පුරාණ ස්ථානවලට ගොස් බලාකියාගත් සොයා දැනගත් සියලු තොරතුරු පොතපතෙහි ලියුහ.

වාර්තා තැබූහ. ඒ තැබූ සටහන් පසුකාලීන ව පර්යේෂකයන්ට සහ ගවේෂකයන්ට එම ස්ථාන පිළිබඳ වඩාත් නිවැරදි තොරතුරු රැස් කරගැනීමට බොහෝ සෙයින් උපකාරී විය . එසේ ම වර්තමානයේ දී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවලට ගොස් එම ස්ථානවල ඇති පුරාවස්තු මොනවාද? කොපමණ වපසරියක් තුළ එම පුරාවස්තු පැතිර පවතිනවාද? එම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භූමිය පිහිටා ඇති පරිපාලන දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ග්‍රාම සේවා වසම ආදී වශයෙන් එහි පිහිටීම පිළිබඳ නිශ්චිත අවබෝධයක්, නිවැරදි ගමන් මාර්ග ආදිය ඇතුළත් ව වාර්තා සකස්විය යුතු ය. එසේ ම මෙම කටයුත්ත සිදු කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් එම ස්ථානවල ප්‍රමුඛත්වය ලබාදී ගවේෂණය කළ යුතු , කැණීම් කළ යුතු , සංරක්ෂණය කළ යුතු ස්ථාන මොනවාද? යන කාරණාව පිළිබඳ ව නිශ්චිත තීරණයක් ලබාගැනීම වඩා වැදගත් ය.

වේගයෙන් විනාශයට යන පුරාවස්තු ඇති තැන් සොයාබලා එම ස්ථාන හැකි ඉක්මනින් සංරක්ෂණය කිරීම, විනාශ වීමෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු යෙදීම අනිවාර්යයෙන් සිදු විය යුත්තකි. පුරාවස්තු විනාශයට විශාල වශයෙන් මුල පුරන නිදන් හොරුන් සහ පුරාවස්තු ජාවාරම්කරුවන්ගෙන් පුරාවස්තු රැකගැනීමට ද විශේෂ වැඩපිළිවෙළක් යෙදිය යුතුය .

ශ්‍රී ලංකාව තුළ පැතිර පවතින පුරාවස්තු අප සැලකිය යුත්තේ මහඟු සම්පතක් ලෙසිනි. ඒවා සියල්ලක් ම පාහේ ජාතික උරුමයක් ලෙස ජාති, ආගම්, කුල භේදයකින් තොර ව ම රටේ ජීවත් වෙන සියලු ම ජනතාවට අයිති ය. මෙරට සියලු ජාතීන්ට සියලු ආගමිකයින්ට ඒ සඳහා උරුමයක් ඇති අතර ඒවා රටට ආදායම් ලබාගැනීම වෙනුවෙන් උපයෝගී කරගත හැකි වටිනා සම්පත් ය. විශේෂයෙන් ම රට තුළ සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙම පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන යොදාගත හැකි බව පැහැදිලි ව පෙනෙන්නට තිබේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට නතු වන මෙම දර්ශනීය පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිසකර කර, ඒ සඳහා මාර්ග සකස් කොට, සංචාරක මඟ පෙන්වන්නන් යෙදවීම මඟින් ජාතික ආදායම සරු කරගත හැකි බව ද කිව යුතු ය. මින් පෙර ද මවිසින් ඒ පිළිබඳ කිහිප විටක් ම යෝජනා ඉදිරිපත් කළ නමුත් ඒවා ක්‍රියාත්මක නොවිණි. එබැවින් පුරාවස්තුන් පිළිබඳ අවශ්‍ය පරිදි ඒ ඒ ක්‍රියාමාර්ග ගැනීමට, ඒ සඳහා උපදෙස් දීමට සහ මඟ පෙන්වීමට කටයුතු සකස් කිරීම පිණිස මෙම පුරාවස්තු රැකගැනීම වෙනුවෙන් ඇති කරන්නා වූ ජනාධිපති කාර්ය සාධක බලකායට නීතිමය වශයෙන් බලතල ලැබෙන පරිදි එය සකස් විය යුතු බව මාගේ අදහස යි.

පාසලේ වැරැද්ද

මෙරට අධ්‍යාපනය ක්ෂේත්‍රය තුළ ඉතිහාසය විෂයට ලබාදෙන අවධානය ඉතාමත් දුර්වල වීම රටක් ලෙස අප මුහුණ පා සිටින විශාල විපතකි . කලක පටන් උද්ගත වී ඇති මෙම තත්ත්වය හේතුවෙන් අනාගත පරපුර ,අපේ ජාතික උරුමය පිළිබඳ කිසිඳු හැඟීමක්, අගයක්, වටිනාකමක් නොමැති පිරිසක් බවට පත්ව සිටිති . එබැවින් පාසල් අධ්‍යාපනය තුළ මෙම ජාතික උරුමය පිළිබඳ සිසු දරුවන් දැනුවත් කරවීමටත්, උනන්දු කරවීමටත් කටයුතු යෙදීම අත්‍යවශ්‍ය කාරණාවකි. එහිදී ද මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට සැලකිය යුතු මැදිහත් වීමක් කළ හැකි ය. විශේෂයෙන් ම පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධ කරගනිමින් ඒ ඒ අධ්‍යාපන ආයතන අවට පරිසරයේ ඓතිහාසික තත්ත්වය පිළිබඳවත්, ඒ අවට වන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන සහ පුරාවස්තු පිළිබඳවත්, සමස්තයක් වශයෙන් මුළු රටෙහි ම ඇති පුරාවස්තු පිළිබඳවත් විශේෂ දේශන මඟින් සිසුන් දැනුවත් කිරීමේ කාර්යභාරයත් මෙම කාර්ය සාධක බලකාය මාර්ගයෙන් ඉටු කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරමි.

පර්යේෂණ සහ කැණීම්වලදී හමු වන පුරාවස්තූ නියම ආකාරයෙන් සංරක්ෂණය වන්නේ ද යන කාරණය පිළිබඳ ද විශේෂයෙන් සොයාබලා කටයුතු කිරීමට මෙම කාර්ය සාධක බලකායට ශක්තියක් තිබිය යුතු ය. යම් පුරාවිද්‍යාත්මක භූමියක් කැණීම්කොට සොයාගන්නා සියලු පුරාවස්තු ආරක්ෂිත ව කෞතුකාගාරවල තැන්පත් වන්නේ ද? ඒවා සම්බන්ධයෙන් ගත යුතු සුදුසු ම ක්‍රියාමාර්ග ගන්නේ ද? නොඑසේ නම් දින කිහිපයකින් ම ඒ පිළිබඳ ව වගකිව යුත්තන්ගේ අවධානය ගිලිහී යෑමෙන් ඒවා අස්ථානගත වන්නේ ද? යන කාරණා පිළිබඳව ද විශේෂයෙන් සොයා බැලීමට මෙම බලකායට බලතල ලබාදිය යුතු ය. එසේ වුව ද මෙම කාර්ය සාධක බලකාය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාලනය කිරීමට කටයුතු කළ යුතු බවක් ඉන් අදහස් නොවේ. සිදු විය යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් පුරාවස්තු පිළිබඳ ව නිවැරදි තොරතුරු ලැබිය හැකි සහ නිවැරදි ක්‍රියාමාර්ග ගත හැකි ශක්තියක් කාර්ය සාධක බලකායට ඇති වන පරිදි කටයුතු කිරීම යි.

හමුදා දායකත්වය

පුරාවස්තු පොළොව යට මෙන් ම පොළොව මතුපිට ද ඇත. එසේ ම ස්ථාවර පුරාවස්තු මෙන්ම ජංගම පුරාවස්තු ද පවතී . බොහෝ විට නිදන් හොරු සහ පුරාවස්තු කොල්ලකරුවන් විසින් සොයාගෙන, තැනින් තැන ගෙන ගොස් විනාසකොට දමන්නේ ජංගම පුරාවස්තු ය. එබැවින් ඒවා සංසරණය වන ආකාරය පිළිබඳවත් දැඩි ලෙස අවධානය යොමු කිරීමට සිදු වේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩි අවධානයක් යොමු ව ඇත්තේ ප්‍රධාන ස්ථාන කිහිපයක් වෙත පමණි. දිවයින පුරා පැතිර පවතින පුරාවස්තු විශාල ප්‍රමාණයක් තවමත් වනාන්තරගතව, පොළොවෙන් යටවී වැසී, ජනතාවට දැකගත නොහැකි තත්ත්වයකින් පවතී. මේවා මතු කරගැනීම වෙනුවෙන් කාර්ය සාධක බලකායට සිදු කළ හැකි සුවිශාල කාර්යභාරයක් ඇත.

උතුරුනැඟෙනහිර යුද්ධය සාර්ථකව අවසන්කොට රටට සාමය උදා කළ ත්‍රිවිධ හමුදාව, වර්තමානයේ දී අප මුහුණ පා සිටින මහා බරපතළ කොවිඩ් -19 වසංගතය පාලනය කිරීමේදී මහත් කැපවීමෙන් කටයුතු කරන ආකාරය ප්‍රශංසනීය ය. අපට සිටිනුයේ විශිෂ්ට ත්‍රිවිධ හමුදාවකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් භාර නිලධාරින්ගේ සම්පූර්ණ සහයෝගය සහ උපදෙස් මත කැණීම් කටයුතු ආදියෙදි ශ්‍රම දායකත්වය ඉතාමත් ම කැපවීමෙන් සහ අවංකව හමුදාවෙන් ලබාගැනීමේ හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව ද සලකා බැලීම වටී. උතුරු නැගෙනහිර පළාත්වල යුද සමයේ කළ පුරාවස්තු ගවේෂණවලදී හමුදා නිලධාරීන් ලබාදුන් සහයෝගය අතිවිශිෂ්ට බව අනිවාර්යයයෙන් සඳහන් කළ යුතු ය. එසේ ම පුරාවස්තු පිළිබඳ ඔවුන් තුළ වූ උනන්දුවත්, ඒවා සංරක්ෂණය කිරීමට දැක්වූ සහයෝගයත් හේතුවෙන් එම පුරාවස්තු යුද සමයේ පවා වනාන්තරවල බොහෝදුරට ආරක්ෂිත ව පැවැතිණි. රට ජාතිය පිළිබඳ ඔවුන් තුළ පවතින ඒ හැඟීම ඉතාමත් අගනේ ය.

මුලතිව් දිස්ත්‍රික්කය වැනි බොහෝ දරුණු ලෙස කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑමට ලක්ව පැවැති ප්‍රදේශවල වූ පුරාවස්තු විනාශ වීමට ඉඩ නොතබා, කැපවීමෙන් රැකගෙන ,හමුදාව යුද්ධ කළ ආකාරය කිසිවිටකත් අමතක කළ නොහැකි ය. එබැවින් පුරාවස්තු රැකගැනීම පිණිස සහ ඒවා මතුකර දීම පිණිස ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබාගත හැකි බව යි මගේ විශ්වාසය. මේ සියලු කරුණු පිළිබඳ ව අවධානය යොමු කරමින් කටයුතු කරගෙන යා හැකි නම් ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින පුරාවස්තු විනාශය වළකා ගත හැකි වනු ඇත.

මුහුදු මහා විහාරය

පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන විනාශයට පත් වන ආකාර කිහිපයකි. ඒ අතර වනාන්තර ගතවීම, පොළොවට වැසීයෑම, දැඩි අව්වැසිවලට නිරාවරණය වීම වැනි ස්වභාවික හේතුන් මත සිදු වන විනාශය මෙන් ම මිනිසා විසින් සිදු කරන විනාශය ද සුළුපටු නොවේ. එක අතෙකින් නිධන් හොරුන් ආදි නොයෙකුත් පුද්ගලයින් පුරාවස්තු විනාශ කරන අතර තවත් අතෙකින් පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන පිළිබඳව අනවබෝධයෙන් කෙරෙන කැලෑ ගිනිතබා හේන් කෙටීම, කුඹුරු කෙටීම වැනි මිනිස් ක්‍රියාකාරකම්වලට ද ලක්ව පුරාවස්තු විනාශයට ලක්වේ. පුරාවස්තු, පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන, ඒවා විනාශ මුඛයට ඇදවැටෙන ආකාරය පිළිබඳ ව ලබාගත් ඡායාරූප, ලියූ පොත පත,ලියකියවිලි, තැබූ සටහන් දහස් ගණනින් මවිසින් කෞතුකාගාරයක තැම්පත්කොට ඇති අතර අවශ්‍ය අයෙකුට පැමිණ ඒ දැනුම ලබාගැනීමේ සහ එම දැනුම පුරාවස්තු රැකගැනීම වෙනුවෙන් යෙදවීමේ අවස්ථාව ද උදාකරදීමට කැමැත්තෙමි.

සැබැවින් ම පුරාවස්තු විනාශය වළකා ගැනීමට නම් පළමුව ඒ පිළිබඳ ව කටයුතු කරන්නන් මෙරට පවතින පුරාවස්තු පිළිබඳ දැනුමක් මෙන් ම ඒවායේ වටිනාකම් ගැන පැහැදිලි අවබෝධයක් ඇතිකොට ගත යුතු ය.

මුහුදු මහා විහාරය පිළිබඳ පසුගිය දිනවල අලුතෙන් කතාබහක් ඇති විය. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් එවැනි ස්ථාන විනාශයට පත්වීමේ ක්‍රම කිහිපයක් ඇත. ඒ අතරින් ආසන්නයේ පදිංචි පිරිස් විසින් සිදු කරනු ලබන විනාශය එකකි. මුහුදුකෑම හේතුවෙන් සිදු වන විනාශය තවත් එකකි. එසේ ම පුරාවස්තු යම් යම් ස්ථානවලින් ගෙනගොස් විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමෙන් ද සිදු වනුයේ මහා විනාශයකි. මේ සියල්ල වළකා ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.

උතුරු නැඟෙනහිර පුරාවස්තු රැකගැනීමේදී විශේෂයෙන් කොට්ඨාස සකස්කොට ඒ එක් එක් කොට්ඨාසයට හමුදා ඛණ්ඩය බැගින් යොදවා, ඒවා රැකගැනීමට කටයුතු යෙදුව මනාය. ශ්‍රී ලංකාවේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන 99.99%ක් ම බෞද්ධ පුරාවස්තු බවද වෙහෙර විහාරවල නටබුන් යැයිද කිව හැකි ය. එසේ වුව ද ඒ සෑම ස්ථානයක ම පන්සල් ඇති කළ නොහැකි අතර එය සිදු කළ යුත්තක් ද නොවේ. එවැන්නක් ඇතැම්විට හේතු විය හැක්කේ රට තුළ නැති අවුල් ඇති කිරීමට ය.

එබැවින් අවශ්‍ය ම ස්ථාන පමණක් කේන්ද්‍ර කරගනිමින් පන්සල් දියුණු කිරීමේ වරදක් නැත. අනෙක් සියලු ම පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා විධිමත් ක්‍රියා පිළිවෙතක් ගෙන ආ යුතු බව පැහැදිලිව ම කිව යුතු ය. මේ පිළිබඳ මනා අවබෝධයක් ඇති, බුද්ධිමත් ව ක්‍රමානුකූල ව සහ අවශ්‍ය පරිදි කටයුතු කරන, රට ජාතිය පිළිබඳ හැඟීමකින් යුත් පිරිසක් යොදා ගනිමින් ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීම තුළින්, ඉදිරියේදී පුරාවස්තුවලට අත්වීමට නියමිත අවාසනාවන්ත ඉරණමෙන් එම පුරාවස්තු සම්භාරය ගලවාගත හැකි මඟක් පෑදෙනු ඇතැයි අපේක්ෂා කරමි.

සටහන - කාංචනා සිරිවර්ධන

 

නව අදහස දක්වන්න